Home » සනත් නිශාන්තගේ බිරිද දේශපාලනයට

සනත් නිශාන්තගේ බිරිද දේශපාලනයට

by Plus One

හදිසි අනතුරකින් මිය ගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ හිස් වූ තැන පුරවන ලෙස පුත්තලම මහ ජනතාව හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකත්වය ඇරයුමක් කරන්නේ නම් තමන් දේශපාලනයට පැමිණීමට සූදානම් බව සනත් නිශාන්ත මහතාගේ බිරිද වන චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය සඳහන් කරයි.

තමා සැමියාගේ ලේකම්වරිය ලෙස ඔහුගේ දේශපාලන කටයුතුවලින් සියයට පනහක් පමණ සිදුකළ බවත් පුත්තලම් දිස්ත්‍රික්කයේ කාන්තා සංවිධාන 500කට අධික ප්‍රමාණයකට නායකත්වය ලබා දෙන බවත් ඇය පැවසුවාය.

අධිවේගයේ පසුගිය දා සිදුවු රිය අනතුරෙන් මරණයට පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් අනුරාධ ජයකොඩි මහතාගේ නිවසට පැමිණ, එම පවුලේ ඥාතීන්ට ශෝකය පළ කළ අවස්ථාවේ දී මාධ්‍යවේදීන් හමුවේ නීතිඥ චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය මේ බව සඳහන් කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය,

“මගේ මහත්මයා පුත්තලම් දිස්ත්‍රික්කයට වගේම රටේ ජනතාවටත් විශාල සේවයක් කළා. එතුමාගෙන් පිළිසරණක් පතා ආ අයෙක් කවදාක්වත් හිස් අතින් ඇරියේ නෑ. එයාට වූ විපත මටත් දරුවන්ටත් අදහාගන්න බෑ. හරියට හීනයක් දැක්කා වගේ. මගේ ස්වාමියාගේ මරණයේ උණුසුම යන්නත් ප්‍රථමයෙන් ඇතැම් මාධ්‍ය පළ කරලා තියෙනවා, මම දේශපාලනයට එනවා කියලා. ඒ කිසිම කෙනෙක් මගෙන් අහලා නෙවෙයි එහෙම ප්‍රවෘත්ති පළ කරලා තියෙන්නේ. මම කිසිම මාධ්‍යයකට මේ දක්වා ප්‍රකාශයක් කරලා නෑ මම දේශපාලනයට එනවා කියලා.

මම මහත්තයාගේ දේශපාලන කටයුතුවලින් හරි අඬක් පමණ මෙහෙයවූවත් ඔහුගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළත් කිසි දවසක දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තිබුණේ නෑ. දැනටත් එහෙම බලාපොරොත්තුවක් නෑ. නමුත් එතුමාගෙන් හිස් වූ තැන ගන්න කියලා, ඒ ජනතා මෙහෙවර ඉදිරියටම කරගෙන යන්න කියලා පුත්තලමේ ජනතාව, රටේ ජනතාව වගේම පක්ෂ නායකත්වය මගෙන් ඉල්ලීමක් කරනවා නම් ඇතැම් විට මට ඒ ගැන හිතලා බලන්න වෙනවා. මට දැන් විශාල වගකීමක් පැවරිලා තිබෙනවා මගේ දරුවන් සිව්දෙනාගේ අනාගතය පිළිබඳව.

මට හොඳ රැකියාවක් තියෙනවා, හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා. මම තනිවෙලා නෑ කියන හැඟීමෙන් ඉදිරි කටයුතුවලට මුහුණදෙනවා. මම දේශපාලනයට ආවත් මගේ මහත්මයා කළ දේශපාලනය කවදාවත් මට කරන්න වෙන්නේ නෑ. ඇතැම් අය විවේචනය කළත් එයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දේශපාලඥයෙක්. දවසේ වැඩි කාලයක් ජනතාව වෙනුවෙන් කැපවෙලා වැඩ කරපු කෙනෙක්.

මගේ මහත්තයා වටේ විශාල පිරිසක් හිටියා. ඒ තමයි එයාගේ ශක්තිය. පුත්තලම් දිස්ත්‍රික්කයේ අති විශාල පිරිසක් සඳහා මගේ මහත්තයා ඉඩම් දුන්නා, ගෙවල් හදලා දුන්නා. ඉන්න තැනක් නැති අයට ගෙවල් 10,000ක් – 15,000ක් හදලා දුන්නු මගේ මහත්තයාගේ දේහය තියන්න තැනක් නැතිවුණා. අන්තිමේදී තාවකාලිකව ඉදිකරපු තැනක තමයි අවසන් කටයුතු පවා කරන්න වුණේ.

මම පුත්තලම් දිස්ත්‍රික්කයේ කාන්තා සංවිධාන 500කට අධික ප්‍රමාණයකට නායකත්වය ලබා දෙනවා. කාන්තාවන්ගේ දුක මම දන්නවා. අද මේ සිද්ධියෙන් මම වගේම පොලිස් සැරයන් අනුරාධගේ බිරිඳ ලක්සිකා ප්‍රසාදිනි මහත්මියත් දැඩි වේදනාවකට, කම්පනයකට පත්වෙලා ඉන්නවා.

මම එතුමියගේ වගේම සැරයන් ජයකොඩිගේ පුතා සම්බන්ධයෙන් අවශ්‍ය ඕනෑම දෙයකට සහයෝගය දෙනවා. එයාලට තනිවෙන්න දෙන්නේ නෑ.”

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions