Home » සජිත් – ෆොන්සේකා ගැටුම කොයිබටද? – රටේ රාළ

සජිත් – ෆොන්සේකා ගැටුම කොයිබටද? – රටේ රාළ

by Plus One

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සජබ සභාපති සරත් ෆොන්සේකා අතර ගැටුමක් නිර්මාණය වෙලා කියලා කවුරුත් දන්නවා.මේ ගැටුම කරලියට ආවේ හිටපු හමුදාපති දායා රත්නායක සජබයට අරන් ඉහල තනතුරක් දෙනවත් එක්ක.සරත් ෆොන්සේකා දයා රත්නායක සජබයට ගැනීම සම්බන්ධව සජිත්ටත් සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්‌ඩාරටත් විරෝධය පලකරලා තිබුණා.

ඊට පස්සේ තමයි ෆොන්සේකා රට ඉස්සරහාට ඇවිත් ඒ ගැන විවෘතව අදහස් ප්‍රකාශ කරන්න පටන් ගත්තේ.ෆොන්සේකාගේ තර්කය උනේ සමගි සන්ධානය ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය සජිත්ට දුන්න බලය අවභාවිතා කරන්න සජිත්ට අයිතියක් නෑ කියලයි.ඒ වගේම ෆොන්සේකා කියන්නේ රාජපක්ෂ පාලනයට සම්බන්ධ දුෂිතයන් සජබයට ගන්නවා නං රාජපක්ෂලා ගත්තත් වැරැද්දක් නෑ කියලයි.

ෆොන්සේකාට විරුද්ධව රාජපක්ෂ ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග සාධාරණ නැති බව ඕනිම කෙනෙක් පිලිගන්නවා.ඒ අවස්ථාවේදී රාජපක්ෂලා ෆොන්සේකාට දඩුවම් දෙන්න යොදා ගත්ත යුධ අධිකරණය නිවැරදි ප්‍රමිතියෙන් යුක්ත එකක් නෙවෙයි කියන චෝදනාව ෆොන්සේකාගේ පැත්තෙන් දිගටම එල්ල කළා.රාජපක්ෂලාගේ ඒ මෙහෙයුමට සම්බන්ධ දයා රත්නායක සජබයට සම්බන්ධ කරගන්න ඉස්සෙල්ලා අඩුමගානේ ෆොන්සේකාගෙන් අහන්නවත් සජිත් සදාචාර සම්පන්න උනේ නෑ කියලයි ෆොන්සේකා කියන්නේ.

ඇත්තටම ඒ තර්කය ෆොන්සේකාගේ පැත්තෙන් බැලුවම සාධාරණයි.ඒ වගේම ෆොන්සේකා නගන පලවෙනි තර්කය සජබෙ පැත්තෙන් බැලුවොත්  ඊටත් වැඩිය සාධාරණයි.ඒ කියන්නේ රාජපක්ෂ කදවුරට සේවය කරපු අය අරගෙන සජබය පුරෝ ගැනීමෙන් අවස්ථාව අහිමි වෙන්නේ සජබය හදන්න දරදිය ඇදපු,කැපකිරීම් කරපු අයට. ෆොන්සේකා නගන ඒ තර්කය ෆොන්සේකාට විතරක්ම සාධාරණ එකක් නෙවෙයි.

ඒක ඇතුලේ සජබ සියලුම දෙනාට අදාල කොටසක් තියනවා.සජිත් සමගි සන්ධානය හදන ක්‍රමවේදයෙත් බරපතල වැ‍රැද්දක් තියනවා.සජිත්ට තවමත් මේ සන්ධානය වෙනුවෙන් කිසිම දේශපාලන පක්ෂයක් හරි බලවේගයක් හරි එකතු කරගන්න බැරිවෙලා තියනවා.ඒක කරගන්න බැරි සජිත් හදන්නේ වැඩේ වෙනවා කියලා තමන්ගේ පාක්ෂිකයන්ට පෙන්නන්න කොහෙන් හරි ඇහින්දාස් කෑලි ටිකක් සජබේ ඇතුලට ගෙනත් දාගන්න.

ඒ ගෙනත් දාන අයගෙනුත් අති බහුතරය රාජපක්ෂලාට දේශපාලන වශයෙන් බැලමෙහෙවරකම් කරපු අය.ඔය එන අය අතර රාජපක්ෂලා plant කරන අයත් ඉන්න පුළුවන්.ඒ විරෝධ සරත් ෆොන්සේකාගේ පැත්තෙන් එනකොට සජිත් හදන්නේ ෆොන්සේකව පක්ෂෙන් එලවන්න. දැන් මේ දවස්වල සජිත් හැම රැස්වීමකම ගහන්නේ එක්කෝ කරූ ජයසූරියගේ සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයට,එහෙමත් නැත්තං තමන්ගේ පක්ෂයේ සභාපති සරත් ෆොන්සේකට.

දැන් කියන්නේ ෆොන්සේකා පක්ෂයෙන් නෙරපන්න පක්ෂ ජේෂ්ඨයෝ කෘත්යාධිකාරී මණ්ඩලයට යෝජනාවක් ගේන්න හදනවා කියලයි.රටේ රාළ ඉස්සෙල්ලාම අහන්නේ කවුද ඔය කියන ජේෂ්ඨයෝ කියලා.මොකද සජබය ඇතුලේ විශේෂ ජේෂ්ඨයෝ කියලා වර්ගයක් ඉන්න විදිහක් නෑ.හිටියොත් වයසින් ජේෂ්ඨයෝ තමයි.ඔය ඔක්කොමලාම වගේ සමකාලීනයෝ.ඔය හැම කෙනාම පහුගිය ජනාධිපතිවරණයේදී සහය දුන්නේ සජිත්ට.

ඒ වගේම බහුතරය පහුගිය මහ මැතිවරණයේදී එජාපය කඩාගෙන ගිහින් සජබය හදාගෙන ඒකෙන් ඡන්දය ඉල්ලුව අය.ඒක නිසා සජබය ඇතුලේ ෆොන්සේකලාට වඩා සීනියර්ස්ලා කියලා පිරිසක් ඉන්න විදිහක් නෑ.ඇත්තටම කවුද සරත් ෆොන්සේකා සජබයෙන් අයින් කරන්න යෝජනාව ගේන අය කියලා දැනගන්න අයිතියක් මේ රටේ ජනතාවට තියනවා.ඊළඟට ඔයාලට පේනවා ඇති මේ දවස්වල සජබ සමාජ මාධ්‍ය ජාලයේ දැවැන්ත ප්‍රහාරයකට සරත් ෆොන්සේකා ලක්වෙන හැටි.

මේ සියල්ල එක සැරේ උඩට ගෙනඒමෙන් පේන්නේ මේක සංවිධානාත්මක මෙහෙයුමක් කියලයි.ඒ ගැන තවදුරටත් හොයාගෙන ගියොත් මේකේ ආරම්භක කෙලවරේ ඉන්නේ සජිත්.සජිත් දැන් තමන්ගේ ගෝලබාලයෝ ලව්ව කියවන්නේ සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් කෙනෙක් උනාට දේශපාලනයේදී නිම්ම නිකං කෝප්‍රල් කෙනෙක් විතරයි කියලා.සජිත්ලා කරන්නේ ෆොන්සේකාගේ රිදෙන තැන්වලට ගහන එකයි.

ලංකාවේ ඉන්න එකම ෆීඩ් මාෂල්වරයා තමන්ගේ ඒ තනතුර මොන විදිහකින්වත් හැල්ලු කරනවාට කැමති වෙන එකක් නෑ.සාමාන්‍යයෙන් හමුදාවේ අය තරු,පටිවලට ගොඩක් ආදරෙයි.මොකද ඒවා ලැබෙන්නේ එයාලා ජීවිතය අවධානමක් අරගෙන කරපු ක්‍රියාන්විත රාජකාරිය හින්දයි.ඉදුනිල් කියන විදිහට ෆොන්සේකා දේශපාලනයේදී කොප්රල් කෙනෙක් නම් සජිත් දේශපාලනයේදී ෆීල්ඩ් මාෂල් කෙනෙක් වෙන්න ඕනි.

ෆොන්සේකා හමුදාපති විදිහට තමන්ගේ වගකීම ඉෂ්ඨ කරලයි ඇවිත් තියෙන්නේ.ඔයාලට මතක ඇති ෆොන්සේකා හමුදාපති උනාට පස්සේ පොන්සේකා කිව්වේ මේ යුද්ධය තවත් හමුදාපති කෙනෙක් යටතේ කරන්න ඉඩ තියන්නේ නෑ කියලා.ෆොන්සේකා තමන්ගේ වචනවලට සාධාරණය ඉෂ්ඨ කරලා තියනවා.ඒකෙන් රටේ රාළ කියන්නේ නෑ ෆොන්සේකා දේශපාලනය ඇතුලේ සාර්ථකයි කියලා.

ෆොන්සේකා හමුදා සෙබළෙක් විදිහට අති සාර්ථකයි.හැබැයි ෆොන්සේකටත් වැඩිය සජිත් අසාර්ථකයි කියලා පිලිගන්න වෙනවා.යුද්ධය සම්බන්ධ කාරණයේදී ෆොන්සේකා නව ආකෘති නිර්මාණය කරමින් සතුරා එක්ක සටන් කළා. ක්ෂණික විහිදුම් බලකා,08 man groups වගේ විවිධ ආකෘති ඒ සටනේ තිබුණා.හැබැයි සජිත්ගේ දේශපාලන මෙහෙයුම ඇතුලේ එහෙම ආකෘති නෑ.

සජිත්ගේ කරන්නේ අනුර හදන එකේම කොපියක්. අනුර ත්‍රිවිධ හමුදා සාමූහික හදනකොට සජිත් රණවිරු සම්මේලන තියනවා.අනුරලා භික්ෂු සමුළු තියනකොට සජිත් හික්ෂු උපදේශක සභා හදනවා. අනුර දේශපාලන වශයෙන් රනිල් කොපි කරද්දී සජිත් ආකෘතිකමය වශයෙන් අනුරව කොපි කරනවා.කොහොම උනත් මේ තත්වය යටතේ ෆොන්සේකා සජබයෙන් ඉවත් කරන්න කියන යෝජනාව සජබය ඇතුලේ තවත් අර්බුදයක් නිර්මාණය කරන බව නම් ස්ථිරයි.

සජිත්ලා දෙන පීඩනය ඉස්සරහා ජෙනරල් අයින් වෙලා යනවා නම් ඒක වෙනමම කතාවක්.හැබැයි සජිත්ගේ මේ අභියෝගය බාරගනිමින් ජෙනරල් සජබය ඇතුලේ තවදුරටත් රැදී ඉන්න තීරණය කරනවා නම් තත්වය තවත් බරපතල වෙන එක නවත්තන්න බෑ.මොකද දැන් සජබය දිය කිරීමේ මෙහෙයුම එජාපය පැත්තෙනුත් දියත් කරලා. ආරංචි විදිහට රනිලුත් ඕස්ට්‍රේලියා සංචාරයෙන් පස්සේ කෙලින්ම වැඩේට බැහැලා.

මේ ලිපිය ලියන අවස්ථාව වෙනකොට රනිල් විපක්ෂයේ කණ්ඩායම් කීපයක් එක්ක සාකච්ඡාවක නිරත වෙලා ඉන්න බව රටේ රාළ හොඳටම දන්නවා.ඒ අය අතර සජබ මන්ත්‍රීවරුත් ඉන්නවා.ඒ වගේම සජබ ආසන සංවිධායකයන් සහ හිටපු පාලාත් සහා,පලාත් පාලන මන්ත්‍රීවරුත් සැලකිය යුතු පිරිසක් ඉන්නවා.මේ මාසේ අවසානයේ නැත්නම් ලබන මාසේ මුලදී එයාලා රොත්ත පිටින් එජාපයට ගන්න තියන ඉඩ වැඩියි.

ඒක නිසා හෙට දවසේ සජිත්ට ෆොන්සේකා එක්ක රන්ඩු කිරීම පැත්තකට දාලා පක්ෂය බේරා ගැනීමේ සටනකට අවතීරණ වෙන්න සිද්ධ වෙනවා.ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න සජිත්ට බෑ වගේම අභයන්තර අර්බුදත් එක්ක සජබයට ඒ සටන කොහොමවත් දිනන්න බෑ.සජිත්ට ජනාධිපතිවරණයට මෙපිට කොතැන හරි තැනකදී පරාජය පිලිගන්න වෙනවා.

සජිතුත් දැන් හරියට යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි වගේ.දැන් සෙලෙනීස්කිට ගන්න තියෙන්නේ තීරණ දෙකයි.එක්කෝ රුසියාව අල්ලගත්ත භූමිය රුසියාවට දීලා ඉතිරි ටික බේරගන්නවද?නැත්තං තවදුරටත් යුද්ධ කරලා සියල්ල නැති කරගන්නවද?සජිත් ඉන්නෙත් සෙලෙන්ස්කි වගේම මනොහාවයක.ඒ කියන්නේ සටන් කරලා සියල්ල නැති කරගන්නවා කියන තැන.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions