Home » එළවලු මිල, ගෝඨාභය හා වයස යන සරසවි ශිෂ්‍යයා – එරන්ද ගිනිගේ

එළවලු මිල, ගෝඨාභය හා වයස යන සරසවි ශිෂ්‍යයා – එරන්ද ගිනිගේ

by Plus One

එළවළු මිල වැඩි වී ඇත්තේ ඇයි? එක පැත්තකින් IMF බදු බර නිසා නිෂ්පාදන වියදම වැඩි වී තිබේ. නමුත් වැඩි මිලට හෝ ගන්නට කඩපොළේ එළවළු නොමැත. රාක්ක හිස්ය. පාරවල් අයිනේ එළවළු කඩ වැසිලාය. එයින් තවත් ගණන් වැඩි වී තිබේ. ඒ ඇයි? එයට ප්‍රධාන හේතුව පසුගිය මාස හයක පමණ කාලයක් තිස්සේ නොනවත්වා දිවයින පුරා ඇද හැළුණු අසාමාන්‍ය වර්ෂාවයි. ඒ වට වැස්සෙන් එළවළු වගාවට දැඩි හානි සිදු විය. එය ධර්මානුරූපීය. ලංකාවේ වර්ෂා රටාව වෙනස් වී තිබේ. එයට හේතුව කාලගුණ විපර්යාසයයි. මේ ටික වෙන බව විද්‍යාඥයෝ කාලයක සිට කීවෝය. අපිත් තේරෙන බාසාවෙන් මේ දූපතේ ජනයාට ඒවා කියා දුන්නෙමු. නමුත් මෙරට නූගත් ජනයාට ඒවා තේරුම් ගැනීමට තරම් ප්‍රඥාවක් නොමැත.

කාලගුණ විපර්යාසයට හේතුව වායුගෝලයට අධික ලෙස කාබන්ඩයොක්සයිඩ් සහ අනෙකුත් හරිතාගාර වායූන් හිටු කියා මුදා හැරීමයි. වෙනත් රටවල උගත් බුද්ධිමත් තරුණයන් පොසිල ඉන්ධනවලට විරුද්ධව සටන් කරන විට ලංකාවේ විශ්වවිද්‍යාලවල වයස යවන තරුණයන් සහ තරුණියන් පොසිල ඉන්ධන ඉල්ලා අරගල කළේය. (හිනා) ඒ මේ රටේ තරුණ පරම්පරාවේ ආන්තික මුග්ධකම පෙන්වූ වැදගත් අවස්ථාවකි. ලංකාවට මේ සියවසේ සැබෑ අර්බුද හමුවේ මළාට ගොඩ ඒමක් නැති බව මා නිසැකව කියන්නේ එවැනි නිරීක්ෂණ හරහාය. ලංකාවේ තාරුණ්‍යයට ඒ සඳහා බුද්ධිමය විභවයක් නොමැත.

ගෝඨාභය සමග අප උත්සාහ කළේ සැබෑ සිස්ටම් චේන්ජ් එකක් කිරීමට බව තවමත් කාට හෝ අවබෝධ වී නැත්නම් ඔවුන්ට මොළේ කළඳක් හෝ නැත. අප උත්සාහ කළේ මේ සියවසේ අපට මුහුණ දෙන්නට වෙන මෙවැනි අර්බුධ විසඳීම සඳහා අදම ක්‍රියාත්මක වීමයි. එවැනි වෙනස්කම් වේදනාකාරීය. පොසිල ඉන්ධනවලින් බැහැරව පුනර්ජනනීය බලශක්තියෙන් රට ස්වයංපෝෂිත කිරීමට දැඩි ප්‍රතිපත්තියක සිට කටයුතු කළේ ඒ නිසාය. නමුත් ජවිපෙ වෘත්තීය සමිති සහ නොබෙල් ත්‍යාගලාභී ලාංකික විදුලි ඉංජිනේරුවන් විසින් එය කඩාකප්පල් කර දැමීය. ජනතාව ගොබ්බයන් සේ නිහඬව බලා සිටියේය. වසර 2030-35 කාලය තුළ ලෝකයේ එන දරුණු ඉන්ධන හිඟයට මුහුණ දීමට දැන් ලංකාවට කිසිසේත්ම නොහැකිය. එදාට වෙන දෙයට වගකිව යුත්තේ පෙරටුගාමී අන්තරේ ප්‍රමුඛ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ ජවිපෙ වෘත්තීය සමිති බව කල්තියාම ලියා තබමි.

පොසිල ඉන්ධනවලින් අප මිදුනත් ගෝලීය කාලගුණ විපර්යාසයේ බලපෑමෙන් අපට මිදිය නොහැකිය. ඉදිරියටත් එක්කෝ මෙහෙම අමුතු වැසි වසී. නැත්නම් දරුණු දීර්ඝ නියං ඒවී. අන්න ඒ නිසා තමයි ඒවාට ඔරොත්තු දෙන්න පුළුවන් දියුණු දේශීය කෘෂිකර්මාන්තයක් හදන්න ගෝඨාභය නායකත්වය ගත්තේ. පෝර මිටිය කුඹුරට ගහලා ගොවිතැන් කරන අමු මෝඩ ක්‍රමය වෙනුවට මේ සියවසේ කාලගුණික සහ වෙළඳපොළ අභියෝගයන්ට මුහුණ දිය හැකි දියුණු කෘෂිකර්මාන්තයක් හදන්නයි එතුමා උත්සාහ ගත්තේ. කාබනික පොහොර කියන්නේ එහි එක කොටසක් විතරයි. එච්චර දෙයක් තේරුම් ගැනීමට තරම් ජවිපෙ ගොවි සමිති නායකයන් උගත් නැත. විද්‍යාත්මක දැනුමෙන් ඔවුන් මොටය. දැන් ඉතින් මළාට ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය කළ නොහැකිය. ආහාර අර්බුදය එන්න එන්නම තීව්‍ර වනු ඇත. බාල සහ වසවිස සහිත ආහාර ආනයනය වැඩි වනු ඇත. මිනිසුන් ලෙඩ වනු ඇත. මිය යනු ඇත. එයටත් ඉඳුරා වගකිව යුත්තේ පෙරටුගාමී අන්තරේ ප්‍රමුඛ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ ජවිපෙ ගොවි සමිති බව කල්තියාම ලියා තබමි.

21 වන සියවසේ මිනිහෙක් හැටියට ජීවත්වන ඔබට මේ කරුණු පිළිබඳව තාර්කික අවබෝධයක් නැත්නම් ඔබ මේ යුගයේ ජීවත්වන පරිණාමයේ පහත්ම කොටසට අයත් මනාවයෙකි. රෙද්ද ගිනි ගෙන ඇති බව අප දුටු නිසා තමයි ඒ ගින්න නිවන්න කටයුතු කළේ. සිමා කොලිපයිඩ් මෝඩ රැට්ටා ඇතුළු සාහසික අරගලකාරයන් කළේ ඇවිළෙන රෙද්දට පෙට්‍රල් වක් කරගැනීමයි. වෙල් ඩන්! ධර්මය ඔබට මග වේවා!

එරන්ද ගිනිගේ
2024 ජනවාරි 21

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions