Home » එක්සත් ජනතා නිදහස් සන්ධානය යලි බලගැන්වීමට නම් – රටේ රාළ

එක්සත් ජනතා නිදහස් සන්ධානය යලි බලගැන්වීමට නම් – රටේ රාළ

by Plus One

පහුගිය ජනවාරි 08 වෙනිදා තිබුණ ශ්‍රිලනිප විධායක සභාවෙන් පස්සේ මෛත්‍රී කිව්වේ එක්සත් ජනතා සන්ධානය නැවත සක්‍රීය කරනවා කියලා.ඒ රැස්වීමට සහභාගි වෙලා හිටිය අනිකුත් ශ්‍රිලනිප‍ නායකයොත් විශ්වාසයෙන් කිව්වේ ලගදීම සන්ධානයක් ගොඩනැගෙනවා කියලයි.තවමත් ඒ කියන සන්ධානය ගොඩනැගිලා නැති උනත් සන්ධානයක් ගොඩනැගීමට අදාල සාකච්ඡා නං ලහි ලහියේ සිද්ධ වෙන බව ආරංචියි.

මීට කලින් ශ්‍රිලනිපය පලාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන ඩලස්ලාගේ නිදහස සභාවයි, විමල්ලගේ උත්තර ලංකා සභාගයයි එකතු කරගෙන හෙලිකොප්ටර් සන්ධානය හැදුවා.හැබැයි හෙලිකොප්ටරය පළවෙනි ගුවන් ගමනේදීම කඩාගෙන වැටුනා.මේ පාර සන්ධාන ක්‍රියාවලිය එන්නේ ජාතික මැතිවරණයක් ඉලක්ක කරගෙන. රටේ තීරණාත්මකම දේශපාලන සන්ධිස්ථානයේදී. 2024 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන.

ඒ සටනට හෙලිකොප්ටරය වගේ තවත් දියාරු සන්ධානයක් නම් වැඩක් නෑ.ඒක නිසා මේ සන්ධානයට එකතු වෙලා ඉන්න සහ එකතු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කාට කාටත් රටේ රාළ ලොකු warning එකක් දෙනවා.ඒ ඇත්ත සද්භාවයෙන් මේ කටයුත්තට අත ගහන්න කියලා. මෙතනදී ශ්‍රිලනිපයටත්,ශ්‍රිලනිප නායකයා විදිහට මෛත්‍රීටත් ලොකු වගකීමක් තියනවා.ඒ වගේම මේ සන්ධානයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගත් එකතු වෙන්න නියමිතයි.චන්ද්‍රිකාටත් ඒ හා සමානම වගකීමක් තියනවා.

ඊට අමතරව අනුර යාපා – ලන්සා කණ්ඩායමත්, කුමාර වෙල්ගම,පාඨළීගේ ජනරජ පෙරමුණ ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පක්ෂ එක්කත් සාකච්ඡා සිද්ධ වෙනවා.රටේ රාළට මෙතනදී කියන්න ඕනි මීට ඉස්සෙල්ලා හදපු  සම්ප්‍රදායික සන්ධානවලින් මේ සන්ධානය වෙනස් වෙන්න ඕනි කොහොමද කියන එක ගැනයි.රටේ රාළ බළකායත් රටට ඕනි සන්ධානයේ හැඩය සහ වැඩපිලිවෙල ගැන දේශපාලන පක්ෂ සහ සංවිධාන එක්ක පළවෙනි සාකච්ඡා වටය කරලා ඉවරයි.

ඉස්සෙල්ලාම කරන්න ඕනි රට ඉස්සරහා තියන අභියෝගය සහ යථාර්ථය හරියට තේරුම් ගන්න එකයි.මීට ඉස්සෙල්ලා හැදුණු සන්ධානයවලදී සිද්ධ උනේ ප්‍රධාන පක්ෂයක් වටේට සුළු පක්ෂ එකතු වෙලා කවුරු හරි අපේක්ෂකයෙක්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්ද කැම්පේන් එකක් කරන එකයි.ඒ වෙනුවෙන් සන්ධානයේ ඉස්සරහින් එල්ලන විසිතුරු බඩු විදිහට තමයි ඔය අනිත් පොඩි පොඩ් පක්ෂ සහ කණ්‌ඩායම් තියාගෙන හිටියේ.

සමහර කණ්ඩායම් විසිතුරු බඩු විදිහට ඉන්නෙත් නැතිව මහ පක්ෂවල නායකයින්ගේ කුස්සි සහ කක්කුස්වල වැඩ කරන්නෙත් පටන් ගත්තා. පොදුජන පෙරමුණ ඇතුලේ විමල්ලා, ගම්මම්පිලලා,වාසුලා ඉෂ්ඨ කළේ එහෙම දේශපාලන භූමිකාවක්.හැබැයි දැන් නිර්මාණය වෙන්න ඕනි සන්ධානය කියන්නේ ඒ සියල්ලට වඩා එෛතිහාසිකව වෙනස් එකක්.මොකද එදා තිබුණ දේශපාලන තත්වය නෙවෙයි අද තියෙන්නේ.

ඊට වඩා අතිශයින්ම සංකීර්ණ දේශපාලන තත්වයක්.මේ දේශපාලන තත්වය කොච්චර සංකීර්ණයිද කියනවා නං පවතින තත්වයවය හරියට විග්‍රහ කරගන්න එකත් ලේසි නෑ.මෙතනදී රටේ රාළ අවධානය යොමු කරන්නේ 2022 දී නිර්මාණය උන ආර්ථික සහ දේශපාලන අර්බුදය ගැනයි.ඒ තත්වය විසින් තමත් සමස්ථ පුරා හදලා තියෙන්නේ අවිනිශ්චිතකමක් විතරයි.අද දේශපාලනයේ දැවැන්තයෝ නෑ.එදා දැවැන්තයින් විදිහට හිටපු එජාපයවත්,ශ්‍රිලනිපයවත් තවදුරටත් අපේ රටේ දේශපාලනයේ දැවාන්තයෝ නෙවෙයි.

එහෙම කියන එකෙන් රටේ රාළ කියන්නේ ආයෙත් එයාලට දේශපාලන දැවැන්තයෝ වෙන්න බෑ කියන එක නං නෙවෙයි.හැබැයි ආයෙත් දැවැන්තයාගේ භූමිකාව අත්පත් කරගන්න නං එජාපයට සහ ශ්‍රිලනිපයට තවත් දැවැන්ත වැඩ කොටසක් කරන්න තියනවා.එජාපය සහ ශ්‍රිලනිපය දෙපලු කරගෙන බිහිවුන සජබය සහ පොදුජන පෙරමුණ කියන්නෙත් දැන් දැවැන්තයෝ දෙන්නෙක් නෙවෙයි.

පොදුජන පෙරමුණ කියන්නේ දැවැන්ත නාය යෑමකට ලක්වෙලා සුණු විසූණු වෙලා කෑලි කැලි තැන තැන විසිරුණු පක්ෂයක්.සජිත්ගේ සජබය පොහොට්ටුව තරම් ඛාදනයකට ලක්වෙලා නැති උනත් ඇතුල සම්පුර්ණයෙන්ම ඉරිතලපු පක්ෂයක්. සජබයට සිද්ධ වෙන්නේ පොහොට්ටුවේ වගේ නාය යෑමක් නෙවෙයි.ගිනිකන්දක් පුපුරා යෑමක් වගේ දෙයක්.ඒ පිපිරීම පිරිසක් ගලවාගෙන යෑමෙන් හරි ඉදිරියේදී ලැබෙන නඩු තින්දුවකින් හරි ඇති වෙන ප්‍රතිපලයක් වෙන්නත් පුළුවන්.

දැන් කාට හරි හිතෙයි දැනට ගොඩ ගිහින් තියෙන්නේ ජවිපෙ විතරයි කියලා.රටේ රාළ නං ඒක පිලිගන්න නෑ.ජවිපෙ අර්බුදයට ගිහින් තියෙන්නේ අනිත් පක්ෂ අර්බුදයට ගිහින් තියන විදිහට නෙවෙයි.එයාලා අර්බුදය ගිහින් තියෙන්නේ ඔක්කොම කුණු එතනට ගොඩගහ ගැනීමෙන්. ජවිපෙට සිද්ධ වෙන්නේ බර වැඩිකම දරා ගන්න බැරිව ගිලා බැසීමක්.ඒක නිසා අද දේශපාලනයේ මහා ලොකු දැවාන්තයෝ කියලා ජාතියක් නෑ.

දැවැන්තයෝ කියලා හිතාගෙන හිටපු අයට ඒ මානසිකත්වයෙන් ඈත් වෙන්න බැරි එක අපට නං අදාල නෑ.රාජපක්ෂලා,සජිත්ලා සහ අනුරලා තවමත් ඉන්නේ ඒ උද්දච්ච මනසේ.හැබැයි ශ්‍රිලනිප නායක මෛත්‍රීට එහෙම උද්දච්ච මනසක් තියෙයි කියලා රටේ රාළ හිතන්නේ නෑ.ඒක නිසා මේ ඇවිත් තියන අවස්ථාවේ පොදුජන පෙරමුණේ තියන රාජපක්ෂ විරෝධය ඉතාමත් හොදින් කළමණාකරණය කිරීමේ වැඩිම අවස්ථාව තියෙන්නේ ශ්‍රිලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට.

රටේ රාළ දිගටම කිව්වේ සන්ධානයක් නිර්මාණය වෙද්දී දැනට තියන ශක්තිමත්ම ආකෘතිය විධායක සභා සහ දේශපාලන මණ්‌ඩල (නායකත්ව මණ්ඩල) ආකෘතිය කියලයි.මෙතනදී විධායක සහාවේ නියෝජනය කියන එක බොහෝ වෙලාවට එන්නේ ඒ ඒ සංවිධානයවල ප්‍රසාරණය සහ එයාලා නියෝජනය කරන සමාජ බලයට සාපේක්ෂව.

අඩුම හැකියාව තියන සංවිධානයකට උනත් විධායක සභාවේ අසුනක් වෙන්වීම යුක්ති සහගතයි.ඒ වගේම ශක්තිමත් නායකත්ව මණ්‌ඩලයක් මේ සන්ධානයට නිර්මාණය වෙන්න ඕනි.ඒ ඒ පක්ෂ සහ සංවිධානවල නායකයින්ගෙන් ඒක සමන්විත වෙන්න ඕනි.රටේ රාළ දිගටම යෝජනා කළේ නායකත්ව මණ්ඩලයට අවශ්‍ය මඟ පෙන්වීම කිරීමට ස්වාධීන බලපෑම් කණ්ඩායමක් (pressure group) සිටීම වැදගත් කියලයි.

ඊට අමතරව මේ එකතු වෙන කණ්ඩායම්වලට තමන්ගේ අනන්‍යතාවයෙන් පොලොවේ දේශපාලන කිරීමේ නිදහස තියෙන්න ඕනි.සන්ධානයක් ඇතුලේ ඇති වෙන මූලික එකඟතා රකිමින් තමන්ගේ මතවාද සහ සංවිධාන වැඩපිලිවෙල ජනතාව වෙත ගෙනයෑමේ අවස්ථාව ඒ ඒ පක්ෂවලට තියෙන්න ඕනි.ඇත්තටම මේ වගේ සන්ධානයක සුවිශේෂීම කාර්යභාරය ඉටු කරන්නේ නායකත්ව මණ්‌ඩලය.

මොකද රටට දේශපාලන නායකත්වය දෙන්නේ ඒ නායකත්ව මණ්ඩලයෙන්.සන්ධානයක නායකත්වය අනිවාර්යයෙන්ම සාමූහික එකක් වෙන්න ඕනි.මේ දීලා තිබෙන තත්වය යටතේ ඔහොම හදන සන්ධාන ආකෘතියක් හැර වෙනත් බයිබෝස් ආකෘතිවලට නං ඉඩක් නෑ.ඊළඟට මෙතනදී වැදගත් වෙන්නේ ඇත්තටම රටට ඉදිරිපත් කරන වැඩපිලිවෙල.දැන් ඉස්සර වගේ මොකක් හරි කොලයක් දාලා අපි අවංකයි, ලස්සනයි,පිරිසිදුයි කියලා වඳගෙන බිත්තිවල එල්ලිලා හිටිලා නං හරියන්නේ නෑ.

ඒ හදන වැඩපිලිවෙල අපේ රටේ මේ නිර්මාණය වෙලා තියන ආර්ථික,සමාජ,දේශපාලන ප්‍රශ්නවලට උත්තර හදන එකක් වෙන්න ඕනි,විශේෂයෙන්ම ආර්ථික ප්‍රශ්නයට උත්තරයක් එතන තියෙන්න ඕනි.මොකද මෙතනින් එහාට බලය ගන්න කණ්ඩායමට තියෙන්නේ දැවැන්ත අභියෝගයක් වගේම මාරාන්තික අවධානමක්.හොඳම වැඩේ තමයි රටේ ප්‍රශ්නවලට උත්තර නැත්තං බලය ඉල්ලන්නේ නැතිව පැත්තකට වෙලා ඉන්න එක. මොකද මේ පාර බලය අරගෙන ආසාර්ථක වෙන කිසිම කෙනෙකුට ජනතාවගෙන් සමාවක් නෑ.

ගෝඨාභයට රටින් පැනලා යන්න අවස්ථාව තිබුණා.ඒ වගේම පැනලා ගිහින් ටික කාලෙකට පස්සේ ආයෙත් ඇවිත් මෙහේ ජීවත් වෙන්න ජනතාව ඉඩ දුන්නා.හැබැයි මෙතනින් එහා නායකයන්ට ඒ අවස්ථාව හම්බ වෙන්නේ නෑ. පැනලා යන්න බලාගෙන නං මේක ගන්න එපා. එහෙම උනොත් වෙන්නේ පැනලා යන්න නෙවෙයි ජනතාව අතින් පරලොව යන්න.

දැන් මෙච්චර කල් වහසි බස් දොඩවපු අයටත් ඒක දැනිලා තියනවා.තමන් බලය ගත්ත ගමන් රාජ්‍ය බලය යොදවලා ජනතාව මර්ධනය කරනවා කියපු ලාල් කාන්තලාටත් දැන් ඒ බය දැනිලා.ඊළඟ වටයේදී නම් ඔය මොන පැත්තකින්වත් මර්ධනය උත්තරයක් නෙවෙයි.එහෙම ආවොත් ජනතාව ඇවිත් ගනුදෙනුව බේරනවා.ඒක නිසා රටේ රාළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක කාරකාදීන්ට කියන්නේ මේ සියල්ල ඔළුවේ තියාගෙන ශක්තිමත් වගේම නිවැරදි වැඩපිලිවෙලක් සහිත සන්ධානය හදන්න කියලයී.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions