Home » මහින්දගේ සතුරන්ට වුණත් මහින්දට තාම ආදරෙයි – එරන්ද ගිනිගේ

මහින්දගේ සතුරන්ට වුණත් මහින්දට තාම ආදරෙයි – එරන්ද ගිනිගේ

by Plus One

අපි මහින්ද මහත්තයගේ මිනිස්සු

මහින්දට මේ රටේ මිනිස්සු ආදරය කරන්නේ ඇයි? පොහොට්ටුවේ සාමාජිකයන් වගේම සාමාජිකයන් නොවන විශාල පිරිසක් මහින්දට ආදරෙයි. මහින්දගේ සතුරන්ට වුණත් මහින්ද ගැන තියෙන්නේ ගෞරවයක්. ගෞරවයක් නැත්නම් ඊර්ෂ්‍යාවක් හරි තිබෙනවා. ඒ ඇයි? ඒක කොහොමද ඇති වුණේ? එහෙම වෙන්න මහින්ද මොනවද කළේ? ලක්ෂ ගාණක් මිනිස්සු හේතුවක් නැතුව එහෙම තනි මිනිහෙකුට ආදර ගෞරව කරන්නේ නැහැ.

මහින්දට සමහර මිනිස්සු ආදරය කරන්නේ මහින්දගේ තියෙන අධිෂ්ඨානයට. මහින්ද කියන්නේ වැටි වැටී නැගිටින මහ ශක්තිමත් මිනිහෙක්. එදා සිරිමාවෝ මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිමට සමතලා කරලා තිබුණු වෙලාවේ පක්ෂය නැවත නගා සිටුවන්න නායකත්වය ගත්ත තරුණයා තමයි මහින්ද. එදා මිනිස්සු කිව්වා ශ්‍රී ලංකා එක සදහටම ඉවරයි කියලා. නමුත් මහින්ද තමයි නැවත මුල ඉඳලා පටන් ගත්තේ. පාක්ෂිකයන් සංවිධානය කරලා පාගමන් ගිහිල්ලා, උපවාස කරලා, උගුර ලේ රහ වෙනකල් මිනිස්සුන්ටම කතා කරලා කරලා අන්තිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත හැදුවා. එහෙම හැදුවට පස්සේ චන්ද්‍රිකා ඒරොප්පේ ඉඳලා ඇවිල්ලා 1994 ඡන්දෙ ඉල්ලලා දිනුවා.

මහින්ද පාර්ලිමේන්තුවට මුලින්ම ආවේ 1970. නමුත් මහින්දට ඇමතිකමක් ලැබෙන්නේ 1994. ඒ කියන්නේ අවුරුදු 24 ක් මහින්ද මන්ත්‍රීවරයෙක් හෝ කිසිදු තනතුරක් නැති අයෙක්. අර ඔක්කොම වැඩ කළේ එහෙම ඉඳගෙන. මිනිස්සු මහින්දට ආදරය කරන ඊළඟ හේතුව තමයි ඔහුගේ අන්න ඒ මහා ඉවසීමේ ගුණය. අද කාලේ නම් බොහෝ අය පාර්ලිමේන්තුවට ආව ගමන්ම ඇමතිකමක් ඉල්ලනවා. නොදුන්නොත් තරහා වෙනවා. පැත්ත මාරු කරනවා. නමුත් මහින්ද අවුරුදු 24 ක් හිටියා ඇමතිකමක් නැතුව. ඇමතිකම් ඉල්ලගෙන පක්ෂ මාරු කළේ නැහැ. හිටියා විතරක් නෙවෙයි තමන්ගේ පක්ෂයේ අමාරුම කාලයේ නොවෙනස්ව හිටියා. පක්ෂය හදන්න දිවා රෑ මහන්සි වුණා.

එච්චර කරලත් බණ්ඩාරනායකලා මහින්දට පක්ෂයේ තැනක් දුන්නේ නැහැ. මහින්දව කැපුවා. නමුත් මහින්ද ඒ ගැන චෝදනා කළේ නැහැ. මිනිස්සු මහින්දට ආදරය කරන ඊළඟ හේතුව තමයි අන්න ඒ මහා දරාගැනීමේ ශක්තිය. මහින්දට කොච්චර අසාධාරණකම් කළත් කෙනෙහිලිකම් කළත් මහින්ද හැමදාම හදවතින්ම හිනාවෙලා ඉන්නවා. අනුන්ට බැන බැන අතන මෙතන ආඩපාලි කිය කිය සවුත්තු වෙන්නේ නැහැ. කොන්ද කෙලින් තියාගෙන ඉන්ද්‍රඛීලයක් වගේ නොසැලී ඉන්නවා. අද කාලේ නම් ප්‍රාදේශීය මන්ත්‍රීවරු පවා තමන්ට නොලැබුණු දේවල් ගැන කිය කිය අඬනවා. එහෙනම් මහින්ද කොහොම අඬන්න තිබුණද! මිනිස්සු ගෞරව කරන්නේ අඬන අයට නොවෙයි.

මිනිස්සු මහින්දට ආදරය කරන තවත් හේතුවක් තමයි මහින්දගේ තියෙන සැබෑ මානව දයාව. 87-89 භීෂණ කාලයේ ජවිපෙට සම්බන්ධ වගේම සම්බන්ධ නැති තරුණ තරුණියන් දහස් ගණනකගේ ජීවිත බේරා ගත්තේ මහින්ද. කැරැල්ලට සම්බන්ධ වුණු පැරණි ජේවීපීකාරයන්ගෙන් ඇහුවොත් කියයි මහින්ද කොහොමද ඒ සමහර අයව තමන්ගේ ගෙදර, තමන්ගේ නෑදෑ හිතමිතුරන්ගේ ගෙවල්වල හංගගෙන කන්න බොන්න දීලා රැක ගත්තේ කියලා. එහෙම මිනිහගේ ගෙදරට තමයි ගිනි තියන්න ගියේ අද ඉන්න ජේවීපී-පෙරටුගාමී ගුණමකු නිවටයන්. මහින්ද හැමදාම බැලුවේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න. මහින්ද ඇත්තටම මිනිස්සුන්ට ආදරෙයි. තමන්ගේ දරුවන්ට වගේ මේ රටේ සියලු දරුවන්ට ආදරෙයි. ඒ ආදරය මේ රටේ මිනිස්සුන්ට දැනෙනවා. ඔවුන් පෙරළා මහින්දට ආදරය කරනවා.

ඒ නිසා තමයි මහින්දට 2005 මේ රටේ මිනිස්සු වරමක් දෙන්නේ කුරිරු ත්‍රස්තවාදය අවසාන කරන්න. ඒ වෙනකල් හිටිය කිසිම නායකයෙකුට කරන්න බැරි වුණ දේ මහින්ද කළා. තමන්ගේ මිනිස්සුන්ට මරාගෙන මැරෙන බෝම්බ අන්දවපු, තමන්ගේ මිනිස්සුන්ගේ කරේ සයනයිඩ් කරල් එල්ලපු, තමන්ගේ මිනිස්සුන්ගේ ළමයින්ගේ අතට ටී-56 දුන්නු ම්ලේච්ඡ කොටි නායකයව පරාජය කරලා මේ රටට නිදහස දුන්නේ මහින්ද. අනෙක් සියලුම කාරණාවලට වඩා මිනිස්සු මහින්දට ආදරය කරන්නේ අන්න ඒ හේතුවට.

වසර තිහක් තිස්සේ තිබුණු කොටි ත්‍රස්තවාදය නිසා රටට ආයෝජකයෙක් එනවා තියා මේ පැත්තවත් බැලුවේ නැහැ. පාරවල් හැදුණේ නැහැ. උගතුන් රට හැර ගියා. ඇත්තටම සිහින බොඳ වුණේ අන්න ඒ කාලේ. ඒ අඳුරු යුගය අවසන් කළේ මහින්ද මිසක් වෙන කවුරුවත් නොවෙයි. ඊට පස්සේ තමයි ලංකාව බලාගෙන ඉන්නකොට දියුණු වෙන්න පටන් ගත්තේ. රට පුරා මාර්ග පද්ධතිය හදලා ගම්-නගර සම්බන්ධ කළා. හැම නිවසකටම විදුලිය දුන්නා. පානීය ජලය දුන්නා. අන්තරජාල පහසුකම් දුන්නා. පාසල්වලට විද්‍යාගාර දුන්නා. ඔන්න එතකොට ආයෝජකයන් ආවා. හම්බන්තොට අලුතෙන් වරායක් හැදුණා. මත්තල අලුතෙන් ගුවන් තොටුපළක් හැදුණා. උතුරට රේල් පාර හැදුණා. අධිවේගී මාර්ග හැදුණා. ආසියාවේ ලස්සනම නගරය බවට කොළඹ පත් වුණා. ආසියාවේ වේගවත්ම ආර්ථික සංවර්ධනය ලංකාවට ලැබුණා. සංචාරකයන් වැල නොකැඩී ලංකාවට එන්න පටන් ගත්තා. කවුරු මොනවා කිව්වත් අද ඇහැට පේන්න තියෙන හැම සංවර්ධනයක්ම කළේ මහින්දගේ කාලයේ. මිනිස්සු මහින්දට ආදරය කරන ඊළඟ හේතුව තමයි ඒක.

හැබැයි එච්චර කරපු මහින්දට සමහරු බැන්නා හොරා කියලා. වෙන ගරහන්න දෙයක් නැති නිසා බොරු චෝදනා කරනවා. ඒක එදත් කළා. බොරු චෝදනා කරලා තරුණ මහින්දව ඒ කාලේ හිරේ දැම්මා. හිරේ ඉන්න පුතාව බලන්න ආව මහින්දගේ අම්මට ඒ දුක දරාගන්න බැරි වුණා. තමන්ගේ අම්මගේ මරණයට මහින්ද ආවේ හිරේ ඉඳලා. අත්දෙකට මාංචු දාලා ගෙනාවේ. මහින්ද තරම් මේ රටේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරලා දුක් වින්ද මිනිහෙක් තවත් නැහැ. මහින්ද තරම් කැපකිරීම් කරලා අපහාස වින්ද නායකයෙක් තවත් නැහැ. මේ රටේ මිනිස්සු මහින්දට ආදරය කරන්නේ අන්න ඒ මහා කැපවීම වෙනුවෙන්.

මහින්ද උදව් නොකළ පන්සලක් පල්ලියක් කෝවිලක් මේ රටේ නැහැ. මහින්ද ඇවිද නොගිය ගමක් නගරයක් මාවතක් මේ රටේ නැහැ. මහින්ද කියන්නේ මේ රටේ අමාරුම කාලයේ අමාරුම අභියෝගය අවසන් කරන්න ඉපදුණු මිනිහා. දේශපාලන පවුලකට ඉපදිලා, හයියට සහෝදරයන් ඉඳලා, නිසි අධ්‍යාපනයක් ලබලා, තරුණ කාලයේම දේශපාලනයට ඇවිල්ලා, දේශපාලනයේ තෙම්පරාදු වෙලා, විඳින්න තියෙන හැම දුකක්ම විඳලා, තැලිලා පොඩිවෙලා කරවෙලා, මහා අයෝමය පෞරුෂයක් හැදිලා, හරි වෙලාවට හරි තැනට කර්මානුරූපීව පැමිණි මිනිහෙක්. අද ඉන්න වෙනත් කිසිම දේශපාලකයෙකු මහින්දගේ මයිල් ගහකටවත් සම කරන්න බැහැ.

එදා 2014 යහපාලන ජවුසම නටලා මහින්දව පරාජය නොකරන්න, අද ලංකාව හොල්ලන්න බැරි තරමට දියුණු රාජ්‍යයක්. එදා මහින්දට පාඩමක් උගන්වන්න ගිහිල්ලා අන්තිමට හොඳ පාඩමක් ඉගෙනගත්තේ මේ රටේ මිනිස්සු මිසක් මහින්ද නෙවෙයි. ඒක තමයි මේ රටේ මිනිස්සුන්ගේ නොලැබීම. ජය-පරාජය ගැන මහින්දට අලුතෙන් උගන්වන්න දෙයක් නැහැ. අටලෝ දහම ගැන මහින්ද තරම් අද ඉන්න වෙන කවුරුවත් දන්නෙත් නැහැ. මහින්ද කියන්නේ ලෝකයටම ආදර්ශයක්. මේ රටේ මිනිස්සු මහින්දට ආදරය කරන්නේ ඒ මහඟු ආදර්ශය නිසයි.

එහෙව් පතාක නායකයෙකුගේ සිහිල් හෙවණේ ඉන්න මිනිස්සු අපි. පොහොට්ටුවේ මිනිස්සු අපි. අපි මහින්ද මහත්තයගේ මිනිස්සු.

ඒ සියලු මිනිසුන් වෙනුවෙන්,
එරන්ද ගිනිගේ
2023 දෙසැම්බර් 27

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions