Home » එක්සත් ජනතා නිදහස් සන්ධානය නැවත බලගැන්විය හැකිද? – රටේ රාළ

එක්සත් ජනතා නිදහස් සන්ධානය නැවත බලගැන්විය හැකිද? – රටේ රාළ

by Plus One

පහුගිය 08 වෙනිදා ශ්‍රිලනිප විධායකය සභාව රැස්වෙලා තිබුණා.විධායක සභාවට ඉස්සෙල්ලා ශ්‍රිලනිප නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකගේ 125 වන ඡන්ම දින උත්සවය පවත්වලා තිබුණා.සාමාන්‍යයෙන් වෙනදට එතනට චන්ද්‍රිකා සහ මෛත්‍රී වෙන වෙනම ඇවිත් පුෂ්පෝපහාර දක්වලා යනවා.චන්ද්‍රිකා ඇවිත් ගියාට පස්සේ මෛත්‍රී එනවා.උත්සව දෙකක් වෙන වෙනම කරනවා.

මේ පාර එකම උත්සවය ඇතුලේ දෙන්නම පුෂ්පෝපහාර දක්වනවා දැකීම ශ්‍රිලනිප පාක්ෂිකයටන්ට නං සුභ දසුනක් උනාට කිසිම සැකයක් නෑ.මෛත්‍රී විධායක සභාවට ගියේ ශ්‍රිලනිප පාක්ෂිකයාට එහෙම චිත්‍රපටියකුත් පෙනෙන්න සලස්වලා.ශ්‍රිලනිපයට සමගිය අත්‍යවශ්‍යය වෙලාවක සමරු දිනය දවසේම විධායක සභාව දාගෙන මතුපිටින් හරි එහෙම සීන් එකක් පෙන්නපු එක ඇත්තටම දේශපාලනිකයි. ශ්‍රිලනිප සමගිය ගැන එහෙම දර්ශනයක් ශ්‍රිලනිප පාක්ෂිකයට ඕනි වෙලා තිබුණා.විශේෂයෙන් මේ අවස්ථාවේ ඒක ගොඩක් වටිනවා.

එකක් මේක ශ්‍රිලනිපය යම් පසුබෑමකට ලක්වෙලා තියන වෙලාවක්.අනික රට තීරණාත්මක දේශපාලන සන්ධිස්ථානයකට ගමන් කරමින් තියන වෙලාවක්.එදා ශ්‍රිලනිප වැඩබලන මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාලගේ කටයුතුවලට බාධාවෙන ආකාරයෙන් කටයුතු කිරීම සහ ඊට අදාලව මැතිවරණ කොමිෂම වෙත සාවද්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම වලක්වාලමින් කොළඹ දිසා අධිකරණය හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකරට තහනම් නියෝගයකුත් දීලා තිබුණා.ලබන 21 වෙනිදා වෙනකං ඒ නියෝගය වලංගුයි.

ඒ තිරණයත් ශ්‍රිලනිපයට වාසිදායක එකක්. ශ්‍රිලනිපයේ ඇතැම් බලවේග තවමත් තමන්ගේ අනිකා කරගෙන ඉන්නේ දයාසිරිව.ඒක දේශපාලන වශයෙන් වැරදියි.ඒකෙන් වෙන්නේ ශ්‍රිලනිපයට ගහන්න සාධාරණය හේතුවක් සහ මානසිකත්වයක් දයාසිරිටත් හැදෙන එකයි. ඇත්තටම ශ්‍රිලනිපයට තවදුරටත් ඕනි රන්ඩු නං නෙවෙයි.ශ්‍රිලනියපට ඕනි අලුත් ගමනක්.

විධායක සභා රැස්වීමෙන් පස්සේ මෛත්‍රී කිව්වේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නැවත ගොඩන්න සුදානම් කියලයි.ඒකට අවශ්‍ය අනුමැතිය විධායක සභාවෙන් ලැබුණ බවත් කිව්වා.මේ වෙලාවේ සන්ධානයක් හදන්න ශ්‍රිලනිපය ගත්ත තීරණය හරියට හරි.හැබැයි මෙතන මෙහෙම දෙයක් තියනවා.මේ හැදෙන සන්ධානය කියන්නේ ජනාධිපතිවරණයක් වෙනුවෙන් හැදෙන සන්ධානයක තවත් කොටසක්

ඒ කියන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී තමයි පළල්ම සන්ධානය හැදෙන්නේ.සමහරවිට ඒ සන්ධානයට වෙන පැත්තකින් දයාසිරිත් ඇවිත් ඉන්න පුළුවන්.මෛත්‍රීට ඒ දුර දකින්න පුළුවන් වෙන්න ඕනි.ඒක ශ්‍රිලනිප ලමා සොල්දාදුවන්ට උගන්නන්නත් ඕනි.දේශපාලනයේ සදාකාලික මිතුරෝ සහ හතුරෝ නෑ.ශ්‍රිලනිපය මේ තියන්න හදන්නේ ඒ පළල් සන්ධාන ක්‍රියාවලියේ තමන්ගේ පැත්තේ තියන ආරම්භ පියවර.

මේ සන්ධානය ශක්තිමත්ව හැදුවොත් තමයි ජනාධිපතිවරණයේදී ශ්‍රිලනිපය ප්‍රමුඛ එජනිසයට ඒ හැදෙන පළල් සන්ධානයේ බලගතු තැනක් හම්බ වෙන්නේ.ඒක නිසා ආරම්භ පියවර හරියට තියන්න මෛත්‍රී දැන ගන්න ඕනි.එතනදී චන්ද්‍රිකාට දීලා තියන රෝල් එක මොකද්ද කියලා රටේ රාළ දන්නේ නෑ.හැබැයි චන්ද්‍රිකා එනවා නම් චන්ද්‍රිකාට කරන්න ලොකු රෝල් එකක් මෙතන තියනවා.

චන්ද්‍රිකා තමයි දැනට ශ්‍රිලනිපයේ ඉන්න ජේෂ්ඨතම නායිකාව.ඊට අමතරව මහින්ද හිටියට මහින්ද ඉන්නේ ශ්‍රිලනිපයට හතුරු ස්ථාවරයක.මහින්ද සහ චන්ද්‍රිකා සළකද්දී චන්ද්‍රිකා මහින්දට වඩා ගව්ගානක් ඉදිරියෙන් ඉන්න කෙනෙක්.ඒ දෙන්නා යුග දෙකක් නියෝජනය කළා.කාට හරි කියන්න පුලුවන් චන්ද්‍රිකාගේ කාලයට වඩා මහින්දගේ කාලය හොදයි කියලා.රටේ රාළ කියන්නේ ඒ කාල දෙක සන්සන්ධනය කරලා නෙවෙයි.මේ දක්වා දේශපාලනය සන්සන්දනය කරලා.එහෙම බලද්දී චන්ද්‍රිකා මහින්ද වගේ චොර වෙලා නෑ.මහජන දේපල සහ ජාතික ධනය මංකොල්ල කාල පවුලට ගොඩ ගහගත්ත ඉතිහාසයක් චන්ද්‍රිකාට නෑ.

චන්ද්‍රිකා සැර පරුෂ ගැහැණියෙක් විදිහට පෙනුනත් ලෝකය ඉස්සරහා අපේ හිටප ජනාධිපතිනිය කියලා ඕනිම ශ්‍රී ලාංකිකයෙකුට ලෝකේ ඕනිම තැනක ඉදන් බය නැතිව කතා කරන්න පුලුවන්. මෙතනදී චන්ද්‍රිකාගේ මැදිහත්වීමත් බොහෝම කෘතහස්ථ එකක් වෙන්න ඕනි.මොකද චන්ද්‍රිකාට මෛත්‍රී පැත්තකින් තියලා මේ ගමන යන්න බෑ. මෛත්‍රී සහ චන්ද්‍රිකා අතර ගොඩනැගෙන අන්‍යෝන්‍ය විශ්වාසය මේ ගමනේ දුර තීරණය කරනවා.

ඒ බැම්ම ශක්තිමත් උනොත් විතරයි නිදාගෙන ඉන්න ශ්‍රිලනිප යෝධයා නැගිට්ටවන්න පුළුවන්. ශ්‍රිලනිප විධායක සහාව එක්සත් ජනතා සන්ධානය නැවත ගොඩනගන්න ගත්ත තීරණය දේශපාලන වශයෙන් වගේම උපක්‍රමයක් විදිහටත් නිවැරදියි.
එජනිසය කියන්නේ රටට තීරණාත්මක ජයග්‍රහණ දිනා දුන්න සන්ධානයක්.ඒත් මේ මොහොතේ එජනිසය කියන්නේ විසිරුන සංවිධානයක්.දැන් ඕනි එජනිසයේ විදිමත් ප්‍රතිසංස්කරණයක්. සමහරවිට හිටිය අයගෙන් යම් ප්‍රමාණයක් එකතු වෙන්න ඉඩ තියනවා.

හැබැයි මෙතනදී වැදගත් වෙන්නේ එජනිසයට අලුතෙන් එකතු වෙන පාර්ලිමේන්තු බලයන් මොනවාද කියන එකයි.එහෙම හිතද්දී එජනිසයට වැඩිම කිට්ටු බලවේගය වෙන්නේ අනුර යාපා  – ලන්සා කණ්ඩායමයි.මේ පාර්ලිමේන්තුවේ සැලකිය යුතු මන්ත්‍රීධූර ප්‍රමාණයක් එතන තියනවා.කැබිනට් ඇමතිලාගේ පටන් පාර්ලිමේන්තු මන්ත්‍රීලා දක්වා එකතුවක් එතන තියනවා.ඒකට පාඨළීගේ ජනරජ පෙරමුණත් එකතු කරගන්න පුළුවන් නම් චිත්‍රය තවත් ලස්සන වෙයි.

ශ්‍රිලනිපය එක්ක නිදහස ජනතා සභාව හදපු හෙලිකොප්ටර් සන්ධානයෙන් පස්සේ එයලා අතර විශ්වාසය බරපතල විදිහට පළදු වුනා.අනික නිදහස් ජනතා සභාව කියලා එකක් දැන් ඇත්තෙත් නෑ.හිතනවා නං හිතන්න වෙන්නේ නිදහස ජනතා සභාවේ ඉතිරි වෙලා ඉන්න මන්ත්‍රීවරු ගැනයි.එතන චරිත හේරත් වගේ කෙනෙකුට යම් වටිනාකමක් හැදෙන්න පුළුවන්.

උත්තර ලංකා සභාගය කියන්නේ දැන් සීසීකට විසිරිලා නන්නත්තාර උන කණ්ඩායමක්.දැන් එයාලත් පුද්ගලයෝ විදිහට නවාතැන් පොලක්  හොයනවා මිසක කණ්ඩායමක් විදිහට නැගිටින්න උත්සහක් දරන්නේ නෑ.මෙතනදී එජනිසට වැදගත්ම වෙන කොටස ඉන්නේ පොදුජන පෙරමුණ ඇතුලේ.හෙට දවසේ පොහොට්ටුව තවත් කෑලි හතරකට කැඩෙන්න නියමිතයි.පොහොට්වුවේ කොටසක් රනිල් එක්ක යනවා.

තව කොටසක් ලන්සලා ළඟට යනවා.සජබයටත් කීපදෙනෙක් යයි.එජනිසය ශක්තිමත්ව හැදෙනවා නම් එතෙන්ටත් පිරිසක් එයි.හැබැයි එහෙම වෙන්න නං එජනිසය ඉක්මනින් හැදිලා ජනවාරි අවසන් වෙන්න ඉස්සෙල්ලා මහ පොලොවට බැහැලා තියෙන්න ඕනි.දැනට ශ්‍රිලනිප කීපදෙනෙක් සජබයට ගිහින් තියනවා.ඒ වගේම පොහොට්ටුවේ තව කීපදෙනෙක් සජබයට යන්න ඉඩ තියනවා.

සජබයේ මේ තාවකාලික ආශ්වාදය හෙට දවසේ බරපතල අනතුරක් කියලා රටේ රාළ දිගටම කිව්වා.චමින්ද විජේසිරිගේ ඉල්ලා අස්වීම හරිම විහිළු සහගත වැඩක්.ඒ ගැන වෙනමම කතා කරමු.නාලක ගොඩහේවා වගේ ගෝඨාභයවාදීන් ගැනීම විසින් සජබය ඇතුලේ බරපතල අර්බුදයක් දැනටමත් නිර්මාණය වෙලා.එදා හොරු තක්කඩින් කියලා සජබය හංවඩු ගහපු අය,ජාතිවාදීන් කියලා හංවඩු ගහපු අය,රාජපක්ෂලාගේ රෙදි හෝදනවා කියපු අය අද සජිත් න්‍යායාචාර්යවරු බවට පත්වෙලා.

මේ හරහා සජබ අභයන්තර අර්බුදය දවසින් දවස උත්සන්න වෙනවා.දැන් සජබයේ ඉන්න අයට වගේම සජබයට ආපු අයටත් දෙපාරක් හිතන්න සිද්ධ වෙලා.මෙතනදී ශ්‍රිලනිපය ප්‍රමුඛ එජනිසය ශක්තිමත් වෙනවා නම් පොදුජන පෙරමුණට වැඩිම බලපෑම කරන්න පුළුවන් එයාලට.දැන් පොහොට්ටුව කියන්නේ උඩින් සහ යටින් වේගයෙන් ඛාදනය වෙන පක්ෂයක්.

උඩින් වෙන ඛාදනය අල්ලගන්න කණ්ඩායම් කීපයක් ඉන්නවා.ඒ මෙහෙයුමේදී ශක්තිමත්ම පාර්ශවය වෙලා තියෙන්නේ ලන්සලා,ඊළඟට රනිල්,සජබයත් ලොකු උත්සාහයක ඉන්නවා.මීට අමතරව එජනිසය ශක්තිමත් උනොත් එතනටත් අවස්ථාවක් එනවා.පොහොට්ටුවේ පහලින් වෙන ඛාදනයේ වැඩිම පංගුව අත්පත් කරගෙන තියෙන්නේ මාලිමාව.ඒක මේ වෙලාවේ මාලිමාවටත් ලොකු අර්බුදයක් වෙලා.

පොහොට්ටුවෙන් මේ ආපු බලවේගය කියන්නේ ස්ථාවර එකක් නෙවෙයි.ඕනිම මොහොතක වෙනස් වෙන්න පුලුවන්.මේ බලවේගය පවත්වගෙන යාමේ ජවිපෙට බරපතල අභියෝගයක්.ජවිපෙ ඒ වෙනුවෙන් නොදරන උත්සාහයක් නෑ.අනුර දැන් ලමයි නලවන්නත් පටන් අරන්.පන්සල් යන්නත් පටන් ගනී.ලාල් දාලා ප්‍රචණ්ඩත්වය ගැන කියමින් බය කරන්නත් හදනවා.රාජපක්ෂලා දාපු සෙල්ලම් ඔක්කොම ජවිපෙත් දාන්න පටන් අරන්.සමහරවිට විරුද්ධ පාක්ෂිකයන්ට ඡන්ද පොලට පැමිණීම පවා අභියෝගයක් වෙන්න පුළුවන්.

හැබැයි ගොඩක් අය නොදන්න ඇත්ත නම් මේ ආපු පොහොට්ටුවේ බලවේගය නිසා ජවිපෙට ආදරය කරපු බලවේගය දැන් ජවිපෙ අතහරිමින් ඉන්නවා.
සන්ධානයක් විදිහට එකතු වෙලා ශ්‍රිලනිපය,අනුර යාපා – ලන්සා කණ්ඩායම,ජනරජ පෙරමුණ සහ අනෙක් බලවේග හරි වැඩපිලිවෙලක් සහිතව ආවොත් මාලිමාව ළඟ ඉන්න සෑහෙන බලවේගයක් ගැලවෙනවා.

මේ හැදෙන සන්ධානයට ශක්තිමත් විධායක සභාවක් සහ ශක්තිමත් නායකත්වය මණ්ඩලයක් අවශ්‍යයි.ඊළඟ මැතිවරණය එනකම් මේ කණ්ඩායම් තමන්ගේ අනන්‍යතාවයෙන් මහ පොළොවේ වැඩ කරන්න ඕනි.ඒකාබද්ධ ක්‍රියාමාර්ගවලට යන්න ඉස්සෙල්ලා දේශපාලන භූමියේ තමන්ගේ ශක්තිය වර්ධනය කරගැනීම අත්‍යවශ්‍යයි.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions