Home » සිසුවාට ගෙදරට ම ගිහින් අතවර කළ හොරණ ගුරුවරිය රිමාන්ඩ්

සිසුවාට ගෙදරට ම ගිහින් අතවර කළ හොරණ ගුරුවරිය රිමාන්ඩ්

by Plus One

පහළොස් හැවිරිදි සිසුවෙකුගේ නිවසට ගොස් ඔහු අපයෝජනයට ලක් කළ බව කියන පන්ති භාර ගුරුවරිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 6 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස හොරණ වැඩබලන මහෙස්ත්‍රාත් නලින ඉඹුලගොඩ නියෝග කළේ ය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් වූයේ හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක සේවය කරන 42 හැවිරිදි තිදරු මවක වන ගුරුවරියකි.

අතවරයට පත් සිසුවාගේ මව හා පියා විදේශගතව සිටින අතර මවගේ සොයුරියගේ සෙවණෙහි හැදී වැඩී ඇතැයි පොලිසිය කියයි.

ඉකුත් පස්වන දින සිසුවාගේ පුංචි අම්මා නිවසින් බැහැරව ගිය අවස්ථාවකදී සැකකාර ගුරුවරිය දරුවා සොයාගෙන නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ දරුවා පමණක් යැයි පැවසේ.

පුංචි අම්මා නිවසට පැමිණෙන අවස්ථාවේදී සැකකාර ගුරුවරිය දරුවා සමග නිවසේ සාලයේ සැටිය මත වාඩි වී ඇති අතර ගුරුවරිය සිසුවාගේ මුහුණ සිඹින අයුරු නිවසට ගොඩ වූ පුංචි අම්මා දැක ඇති නමුත් ඇය නොදැක්කා සේ නිවස තුළට ගොස් ඒ බව විදේශගතව සිටින සොයුරියට දුරකතන මාර්ගයෙන් දැනුම් දී ඇතැයි පොලිසිය කියයි.

ඇයගේ උපදෙස් මත සිසුවාගේ පුංචි අම්මා සිසුවා පරිහරණය කරන ලද ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී, “සුදූ ඔයාව දකින්න නැතිව මට ඉන්න බෑ,” ඔයා ගාව හරි සුවඳයි” ආදී වශයෙන් ලිංගික ආශාවන් ඇති වන ආදර වදන් කෙටි පණිවුඩ ගුරුවරිය සිසුවාට යොමු කරනු ලැබ තිබූ බව පොලිසිය කියයි.

සිසුවාගේ පුංචි අම්මා ඒ බව විදේශගතව සිටින සොයුරියට දැනුම් දීමෙන් අනතුරුව ඇය දින කිහිපයක් තුළදී මෙරටට පැමිණ මොරගහහේන පොලිසියට සහ හොරණ අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කිරීමට කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.

ඒ අනුව, චෝදනා ලත් ගුරුවරිය වහා ක්‍රියාත්මක වන පරිදි ඉංගිරිය පාසලක් වෙත මැරු කර යැවීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබිණි.

පැමිණිල්ල ලද වහා ම අදාළ සිසුවා හොරණ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කර තිබිණි.

සැකකාර ගුරුවරිය විසින් සිසුවාට පසුගිය කාලය පුරා විවිධ ආහාර වර්ග ලබාදී ඇති බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

චෝදනා ලත් පාසල් ගුරුවරිය අද දින මොරගහහේන පොලිසියට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව පොලිසිය කියයි.

පානදුර කොට්ඨාසයේ වැඩබලන සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න, සහකාර පොලිස් අධිකරි උදය කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් සංජීව, කොට්ඨාස ළමා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක සජීවනා පතිරණ, කාලේන ළමා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක ප්‍රමිලා රේණුකා යන මහත්ම මහත්මීහු සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කළහ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions