Home » 88-89 ත්‍රස්තවාදය නිසා තවමත් ලංකාවට ආයෝජකයන් එන්නෙ නෑ – එරන්ද ගිනිගේ

88-89 ත්‍රස්තවාදය නිසා තවමත් ලංකාවට ආයෝජකයන් එන්නෙ නෑ – එරන්ද ගිනිගේ

by Plus One

ලංකාවට දැන් ආයෝජකයන් නොඑන්න ප්‍රධානතම හේතුව තමයි සාහසික අරගලය. එයින් විදෙස් ආයෝජකයන් ලංකාව ගැන ඉතා බියට පත් වී තිබෙනවා. ආයෝජකයන් තමන්ගේ වත්කම් යොදවන්නේ ආරක්ෂිත ස්ථානයක පමණයි. අශිෂ්ට ගෝල්ෆේස් අරගලය විසින් ලංකාව ඇතුළේ ආරක්ෂාව පිළිබඳව ඉතා අහිතකර ප්‍රතිරූපයක් ජාත්‍යන්තරය තුළ ගොඩනැගුවා.

1971 හෝ 88-89 ත්‍රස්තවාදය මෙදා තරම් ජාත්‍යන්තරයට ගියේ නැහැ. ඒ කාලයේ ස්මාර්ට් ෆෝන් සහ ජංගම දුරකථන තිබුණේ නැහැ. නමුත් මෙවර ලංකාව අරාජික කළ සාහසික ත්‍රස්තනය මුළු ලෝකයම දැක්කා. Hashtag ගගහා ඒක ඕනකමින්ම ලෝකයට පෙන්නුවා. ඒ පිටුපස තිබුණේ රටට එන ආයෝජකයන් බියට පත් කිරීමේ කූට අරමුණයි. දැන් ලංකාව ගැන google එකේ හොයපු ගමන්ම එන්නේ සාහසික අරගලයේ දර්ශන. ඒක ඉතාම සැලසුම් සහගතව සිදු කළ උපාය උපක්‍රමයක්.

ඒ වගේම උගැන්ඩාවට ඩොලර් පැටෙව්වා වගේ අමූලික පච ගහලා රටේ දේශපාලන නියෝජිතයන් පිළිබඳව පදනම් විරහිත වැරදි මතයක් ජාත්‍යන්තරය තුළ ගොඩනගන්න අරගලය පිටුපස සිටි දෙමළ ඩයස්පෝරාව කටයුතු කළා. මැල්කම් සහ කන්‍යාවියන් විසින් අමූලික බොරු ඉලක්කම් ලියූ රෙද්ද උස්සලා පිටරට චැනල්වලට පෙන්වා ආයෝජකයන් බියට පත් කළා.

ඔබට මතකද ඒ දවස්වල රාජපක්ෂලා පිටරට සඟවා ඇති ධනය ලංකාවට ගෙන ඒමට මොකක්දෝ UN සංවිධානයකට යනවාය කියා අරගලකරුවන් පිරිසක් දැඟලුවා. දැන් කෝ ඒ අය? හංගපු සල්ලි ගේන්නේ නැද්ද? ඒ ඔක්කොම එකම තිර පිටපතක්. රාජපක්ෂලා ඝාතනය කරනවාට යටින් තිබුණේ ලංකාවේ අනාගතය සදහටම සුන්නද්ධූලි කිරීමේ පාපිෂ්ඨ අරමුණයි. ඒක ඔවුන් කරගත්තා. අරගලයට ගිය කිසිවෙකුට ඒ පාපයෙන් මිදෙන්න බැහැ. ඔබගේ දරුවන්ට ලැබීමට තිබුණු සුන්දර අනාගතය අරගලකරුවන් විසින් නැති භංගස්ථාන කළා.

රටේ ජනාධිපතිට පවා ආරක්ෂාව නැහැ කියා ලෝකයට පෙන්නුවම ඇති. එතකොට ආයෝජකයන් හිතනවා ඔවුන්ට කිසිසේත්ම ආරක්ෂාව ගැන විශ්වාස කරන්න බැහැ කියලා. විශේෂයෙන්ම දිගුකාලීන ව්‍යාපාර සහ ව්‍යාපෘති සඳහා එන ආයෝජකයන් ලංකාව දිහා දැන් බලන්නෙවත් නැහැ. ඔවුන් වැඩිපුරම බලන්නේ ස්ථාවරත්වය සහ ආරක්ෂාව. ම්ලේච්ඡ අරගලය විසින් ඒ දෙකම නැති කරලා දැම්මා. ශවේන්ද්‍ර සහ කමල් වැන්නවුන් එම ව්‍යාපෘතියේ කුලී හේවායන්. එදා තමන්ගේ ජනපතිට ආරක්ෂාව දීමට නොහැකි වූ ඔවුන් අද ජනපතිට තියාගෙන ඉන්න වෙලා තිබෙන්නේ ඔවුන් එදා කළ ඒ නිගරු-සේවයට ස්තුති කිරීමක් ලෙසට පමණයි.

ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාවේ ප්‍රතිරූපය විනාශ කිරීමට හැමදාම කටයුතු කළ ජවිපෙ මෙවරත් එය ඉතා සාර්ථකව සිදු කළා. ධනේශ්වර පිටරැටියන්ට බැලමෙහෙවරකම් කරන නූගත් ජේවීපීකාරයන් විසින් ලංකාවට ඩොලර් එවන්න එපා කියමින් විශාල ජාත්‍යන්තර මෙහෙයුමක් දියත් කළා. ආයෝජකයන් කොහොමට බය වෙන්න ඇතිද? තමන්ගේ ඩොලර් ලංකාවේ ආයෝජනය කරන්න තවදුරටත් ඔවුන් හිතන්නෙවත් නැහැ. ආයෝජනය කරපු අයත් දැන් බලන්නේ කොහොම හරි ලංකාවේ තියෙන ඔවුන්ගේ විදෙස් විනිමය පිටරටකට ගෙනියන්නයි. ජවිපෙ හැමදාම කළේ ලංකාව ඔළුව උස්සගෙන එනකොටම එය කඩාකප්පල් කර දැමීමයි.

එක්තරා විදිහකට බැලුවම මා මෙයට කැමතියි. මොකද අරගලයක් නොකර ආර්ථිකය යථා තත්ත්වයට ඇවිල්ලා ලංකාව ඉක්මණට ස්ථාවර වුණා නම් මෙලහකට ආයෝජකයන් එනවා. එහෙම වුණා නම් මහා පරිමාණයේ අලුත් ව්‍යාපෘති රටේ පටන් ගන්නවා. රැකියා දහස් ගණන් නිර්මාණය වෙනවා. ආර්ථික වර්ධනය වේගවත් වෙනවා. නමුත් එතකොට අපේ රටේ දෙදහෙන් පස්සේ ඉපදුණු නොහික්මුණු තරුණ තරුණියන්ට ඒ දියුණුවේ වටිනාකමක් තේරෙන්නේ නැතුව යනවා. ඔවුන් තව තවත් ඒකම ඉල්ලනවා. පොඩ්ඩක් හරි අඩුපාඩු වුණොත් කිරට අඬන තොත්ත බබාලා වගේ අඬනවා. බටහිර ඒජන්තලට කත් අදින NGO මුදලාලිලට අහුවෙලා ලෝකයටම පේන්න ජනපති මන්දිරයේ ස්විමින් පූල් එකේ සබන් ගාලා නානවා. ජීවිතේට ඇඳක් නොදැකපු වනචරයන් වගේ ඇඳන් උඩ පිස්සුවෙන් නටනවා. නිර්මාල් දේවසිරි 1983 දෙමළට ගැහුවා වගේම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා. නමුත් දැන් කාලෙකට එහෙම වෙන්නේ නැහැ.

දැන් නැවත සෑහෙන්න කාලෙකට ලංකාවේ ආර්ථිකය දියුණු වෙන්නේ නැහැ. හරියට මගේ ජීවිතේ පළමු අවුරුදු තිහ වගේ. යුද්ධය අවසන් කිරීමට පෙර තිබුණු ලංකාව වගේ. අපේ රට තව දශක ගණනාවක් මේ විදිහට එක තැනම තියෙනවා. ඒකට අවංකවම මම කැමතියි. එතකොට තමයි කට්ටියගේ අමාරුව හොඳ වෙන්නේ. දියුණුවේ වටිනාකම දැනෙන්නේ. සාමයේ වටිනාකම දැනෙන්නේ. මනුෂ්‍යත්වයේ වටිනාකම දැනෙන්නේ. සිහින මාලිගා කැඩිලා මහපොළොවේ දුක්ඛ සත්‍යයට එන්නේ. අනික තමයි මෙහෙම රට එක තැන පල් වෙනකොට ලොකුම පණු අමාරුකාරයන් ටික රටින් පනිනවා. හරියට 80-90 දශකවල රටින් ගිය අපේ හිපි මාමලා නැන්දලා වගේ. උන් ටික ගියාම රටේ බර අඩු වෙනවා. ඒ කාලේ හොඳයි. හරියට මේ දැන් එළඹෙන කාලය වගේ. ධර්මය ඔබට මග වේවා!

එරන්ද ගිනිගේ
2024 ජනවාරි 9

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions