Home » හිස් TIN එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී – රටේ රාළ

හිස් TIN එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී – රටේ රාළ

by Plus One

” හිස් ටින් එකක් වාගෙයි අපේ….මේ ජීවිතේ මල්ලී
කිසි වාසියක් නෑ…..හාමතෙයි නැත්තම් අතේ සල්ලි “

ඒක මේ දවස්වල නැගලා යන සින්දුවක්.

” ගමේ මාටින් අයියාට TIN එකත් අරන් හන්දියට ගිහින් හොලවන්න කියලත් සමහරු කියනවා “

” මෙන්න මගේ tin එක…..ඔයාලත් ටින් එක ගත්තද?….කියලා අහන ගමන් ටින් එකක් හොලවන Facebook කොල්ලෝ,කෙල්ලෝ සෙට් එකතුත් මේ දවස්වල ඉන්නවා “

” මෙච්චර බදු බරක් පටවලා තියෙද්දිත් ජනතාවගෙන් තවත් බදු අය කරන්න ගේන TIN එක ගන්නවද කියලා ප්‍රශ්න කරන දේශපාලන සංවාදයකුත් රටේ තියනවා “

මේ සියලු සාකච්ඡා ඇතිවෙලා තියෙන්නේ ජනවාරි 31 වෙනිදාට ඉස්සෙල්ලා අවුරුදු 18 වැඩි සියලු දෙනාම බදු ෆයිල් විවෘත කරලා තමන්ට හිමි TIN number එක ගන්න කියලා ආණ්ඩුව දාලා තියන නියෝගයත් එක්ක.රටේ රාළගෙත් TIN එක තවම ගත්තේ නෑ.හැබැයි අනිවාර්යයෙන්ම ජනවාරි 31 ට ඉස්ස්සෙල්ලා ගන්නවා.වයස 18 ට වැඩි අයට බදු ෆයිල් අරින්න කියලා ආණ්ඩුව කරලා තියන නියෝගය අද විපක්ෂයට තලු මරමරා කතා කරන්න හොඳ දේශපාලන මාතෘතාවක්.ඒ මේ රටේ ජනතාව මිරිකෙන බදු බර හින්දයි.ඒ බදු බර සහ මේ බදු ෆයිල් විවෘත කිරීම එකිනෙකට සම්බන්ධ කරමින් විපක්ෂය මේ සියලු දේශපාලන තර්ක ගොඩනගනවා.

ආණ්ඩුව කරන හැමදේකටම ගල් ගහන විපක්ෂයක් ඉන්න රටක බදු ෆයිල්වලට ගල් ගහන එකත් මහ ලොකු දෙයක් නෙවෙයි.අපේ රටේ දේශපාලන වශයෙන් සවිඥානික බහුතර ජනතාවක් නැතිවීම විසින් සටන් පාඨත් එකක කරන දේශපාලනට සමාජයක් තල්ලු වෙලා ගිය අවස්ථා තමයි වැඩියි.හැබැයි ඒ සටන් පාඨ පතුලේ තියන ඇත්ත දේශපාලනය තේරුම් ගන්න ජනතාව සමත් නෑ.

වැඩවසම්කම කරපින්න ගත්ත විපක්ෂ නායකයෙක් සහ වැඩවසම් වමේ නායකයෝ ඉන්න රටක මීට වඩා දෙයක් දේශපාලනිකව නං වෙන්න විදිහක් නෑ,හැබැයි රටේ අනාගත පරපුරට හරි යථාර්ථය දකින්න නම් මේ ප්‍රතිසංස්කරණ රටේ සිද්ධ වෙන්න ඕනි.කොටින්ම කියනවා නං අවුරුදු 18 වැඩි අයට බදු ෆයිල් විවෘත කිරීමට විරුද්ධ වෙන්න නොදැනුවත්කම හරි කුහකකම හරි හැර වෙන සාධාරණ හේතුවක් නෑ.රටේ රාළ බළකායේ සටන ෆයිල් විවෘත කරන එක නතර කරන්න නෙවෙයි.අපි ෆයිට් කරන්නේ ඒක ඇතුලේ වෙන්න පුළුවන් අක්‍රමිකතා නිවැරදි කරන්න.

එක නිසා TIN එක ගැන හරියට නොතේරෙන අපේ රටේ මාටින් අයියලත් එක්ක TIN එක ගැන කතා කරන්න රටේ රාළට හිතුනා.ඇත්තටම ක්‍රමයක් විදිහට 18 වැඩි අයට බදු ෆයිල් ආරම්භ කිරීම ඉතාමත් සාර්ථක ක්‍රමයක්.බදු කතාව පැත්තකින් තිබ්බත් රටේ ජනතාව රාජ්‍යයත් එකක් ගැට ගැහෙන නිවැරදි ක්‍රමක් නිර්මාණය වෙන්න ඕනි.ඒක රාජ්‍යයට සහ පුරවැසියාට හැම අතින්ම වැදගත්.ඒක ධනවාදය නෙවෙයි සමාජවාදය ඇතුලේත් වෙන්න ඕනි දෙයක්.

ප්‍රශ්නය තියෙන්නේ වමේ කියාගන්න මේ ඔලමොට්ටල නායකයන්ට ඒක තේරෙන්නේ නැති එකයි.තේරුණත් වැඩවසම්කමත් එකක් එන දේශපාලන කුහකකම හින්දා රටට මොනවා උනත් කමක් නෑ අපි ගොඩයමු කියන මානසිකත්වයකට එයාලා තල්ලු වෙලා ඉවරයි.බදු ෆයිල් අරින එකෙන් ඇත්තටම සෑහෙන දුරට බදු චංචාවලට වැට බදින්න පුළුවන් වගේම තවත් පැති ගොඩකින් රාජ්‍ය මූල්‍ය ක්‍රියාවලිය විධිමත් කරන්න පුළුවන්.

සමහරු හිතාගෙන ඉන්නේ එයාලා බලයට ආවම අලුත් CID එක දාලා හොරු අල්ලන්න.බදු හොරුත් එහෙම අල්ලන්න.සටන් පාඨ විදිහට ඒවා ලස්සන කතා තමයි.හැබැයි ඒවා කවදාවත් කෙරෙන දේවල් නෙවෙයි.තමන්ට ඕනි එකා,තමන්ට කප්පං දුන්න එකා නීතියේ දැලෙන් රිංගවන්න තියන හොඳ ක්‍රමය තමයි CID ය හරහා හොරු ඇල්ලීම.බදු ෆයිල් විවෘත කිරීමෙන් වෙන්නේ බදු ගෙවීම සහ මහජනයා එක්ක රාජ්‍යය කරන ගනුදෙනුව ජිඩිටල් ෆ්ලැට් ෆෝම් එකකට ගේන එක.

උදාහරණයක් ගත්තොත් පහුගිය කාලේ රාජපක්ෂ පවුලේ සියලු දෙනාටම දුෂණ චෝදනා එල්ල වුනා. රත්තරං අශ්වයෝ,ලැබ්බෝ ගිනි,විදෙස් එකවුන්ට් ගැන කියවුනා.රුපියල් බිලියන 18 ක් පිටරට හංගලා තියනවා කියලත් කිව්වා.හැබැයි ඒ කිසිදෙයක් අල්ලන්න බැරිවුනා.FCID දාගෙන හෙව්වත් හොයන්න බැරිවුනා.ඔක්කොම කතා සාප්පු විතරක්වුනා.දැන් වෙලා තියෙන්නේ රටේ හොරාකාපු මුදල් පැහැදිලියි,හැබැයි හොරා කාපු එකෙක් තවමත් හොයා ගන්න බෑ.ඇත්තටම ඒවට එක හේතුවක් තමයි නිවැරදි system අපේ රාජ්‍ය ක්‍රියාවලිය ඇතුලට නොගෙනේම.

ඔය හොරා කාපු සල්ලි ගොඩක් වෙලාවට ඩම් කරන්නේ ඉඩම් අරගෙන,ගෙවල් දොරවල් අරගෙන.එහෙම බැංකු ක්‍රමවේදයන් පරිබාහිරව ළඟම හිතවතුන්ගේ නමට.නැත්තම් ළඟම ඥාතියෙක්ගේ නමට අරන් දාපු නිශ්චල සහ චංචල දේපල කොච්චර තියනවාද?පහුගිය කාලේ ආපු තොරතුරුවලින් තහවුරු උනේ ජීවත් වෙන්නවත් හරි හමන් ආදායමක් නැති අය පවා කෝටි ගණන් වටින දේපල අරන් තිබුණා.ඉඩම්,හෝටල් අරගෙන තිබුණා,ඒ වගේම මෑතකදී අපි දැක්කා මිලියන ගනන් ඖෂධ සපයන සමාගම් විදිහටත් එහෙම කෙනෙක් ලියාපදිංචි වෙලා තිබුණා.

වැඩිය ඕනි නෑ මල්වානේ අයිතිකාරයෙක් නැති මහා මන්දිරයකුත් තිබුණා ඔයාලට මතක ඇතී.හැබැයි මේ බදු ෆයිල් එක open කලාට පස්සේ ඒ ජාතියේ වැඩ කරන්න බෑ.කරන්න පුඵවන්,හැබැයි කලාට පස්සේ ඒකට අදාල බදු මුදල් ආණ්ඩුවට ගෙවන්න වෙනවා.ඒ හැම දෙයක්ම TIN එක හරහා එයාගේ පෞද්ගලික ගොනුවට එනවා.එතකොට වෙන්නේ පුද්ගලයෙක් සතු ආදායම සහ වත්කම රජයට විවෘතවීමයි.ඒවා හංගන්න බෑ,ඒ වගේම මේ බදු ෆයිල් එක විවෘත කිරීම විසින් අපට සළසා ගන්න පුළුවන් ප්‍රතිලාභත් ගොඩක් තියනවා.

බදු ෆයිල් එකක් open කල පමණින් තමන් රජයේ බදු අයකරන සීමාවේ ඉන්න කෙනෙක් නෙවෙයි නං එයාට බදු ගෙවන්න වෙන්නේ නෑ.ආණ්ඩුවට පුළුවන් මේ ක්‍රමය සංවර්ධනය කරලා හොඳ රක්ෂණ ක්‍රියාවලියක් මේකට එකතු කරන්න.සූභ සාධන ක්‍රියාවලියත් මේ ෆ්ලැට්ෆෝම් එක හරහා කරන්න.අස්වැසුම වගේ දිළිඳු සහන වැඩසටහන් පවා මේ ෆ්ලැට් ෆෝමි එකට ගන්න පුළුවන්.

පහලම ස්ථරවලට එහෙම සහන ලැබෙද්දි ඉහල ස්ථරයවලටත් මේ ක්‍රියාවලියෙන් සහන ගොඩක් සැලසෙනවා.හිතන්නකෝ කවුරු හරි අපේ රටට පිටරටින් දෙයක් ආනයනය කරනවා කියලා. විශේෂයෙන්ම මේක අපනයන ක්‍රියාවලියට වඩා ආනයන ක්‍රියාවලියට තදින්ම අදාලයි.අපි ආනයනය කරපු දේවල් clear කරගන්න යද්දී අපිට TIN number එකක් ගන්න වෙනවා.එතන ඒකට වෙනම තැරැව්කාරයෝ ටිකක් ලෑස්තිවෙලා ඉන්නවා.අපි එයාලට ගානක් දීලා තමයි TIN number එක ගන්න ඕනි.

ඊළඟට මේ තැරැව්කාරයෝ අපිට කේවල් කරමින් ගාන වැඩිකරනවා විතරක් නෙවෙයි අපිව රස්තියාදුත් කරනවා.බදු ෆයිල් එක විවෘත කිරීම හරහා අපට TIN නම්බර් එකක් ලැබෙන නිසා එහෙම ප්‍රශ්නයක් එන්නේ නෑ.ඒ TIN නම්බර් එක ජීවිත කාලය පුරාවට අපිට රජයත් එක්ක කරන ගනුදෙනුවලදි යොදා ගන්න පුළුවන්.මේක ගොඩක් දුරට අපි ඉස්පිරිතාලෙට ගියාට පස්සේ දෙන bar code එකකට සමානයි.ඒ bar code එක යෙදුවහම වෛද්‍යවරයාට අපේ රෝගී තත්වය ගැන history එක එනවා.ඒකෙන් වෛද්‍යරයාට විශාල පහසුවක් වෙනවා.

ඒ වගේම තමයි අපේ ආර්ථික දත්ත වත්කම් සහ බැරකම් වලට අදාල දත්ත සියල්ල රජය සතුව තියනවා.ඒක හැම තැනදීම අපට use කරන්න පුළුවන්.සාමාන්‍ය ජන ජීවිතයේදී ඒක හරිම පහසුවක්.ඒ වගේම රජයට තමන්ගේ පුරවැසියා නිශ්චිතව හදුනාගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට ඔය එක එක්කෙනා හරහා කරන බොරු සමීක්ෂණ කරන්න ඕනිත් නෑ.දත්ත පද්ධතිය ආණ්ඩුවට තියනවා.බදු ෆයිල් එක ඕපන් කලා කියලා ලක්ෂයට අඩු ආදායම් ගන්න කිසි කෙනෙක් බදු ගෙවන්න ඕනි නෑ.

අපි හිතමුකෝ වැඩි ආදායමක් තියන කෙනෙක් ඒක පෙන්නුවේ නෑ කියලා.හැබැයි එයා එකපාරටම කෝටි ගාණක වාහනයක් හරි ඉඩමක් හරි ගන්නවා නම් එයාගේ ආදායමට වැඩි ලොකු වියදම් කරලා තියන බව අහුවෙනවා.මොකද මේ හැම ගණුදෙනුවකටම TIN අංකය යොදා ගන්න වෙනවා.ඒක නිසා ඒ වගේ හොරකම් කරන්න බැරි වෙනවා.ඇත්තටම ඇයි අපි රජයට වංචා කරන්නේ.අපේ රටේ ජනතාව හුරු කරලා තියෙන්නේ පොදු දේවල් හොරකම් කරන්න.

ඒක නිසයි රජයේ ආයතන මෙහෙම බංකොලොත් වෙලා තියෙන්නේ.රජයේ ආයතනවල තියන ගොඩක් බඩු සේවකයෝ පරිස්සමට ගෙදර ගිහින් තියාගෙන ඉන්න රටක් මේක.මේ රටේ තියන මානසිකත්වය තමයි රජයෙන් ඔක්කොම දේවල් සපුරන්න ඕනි,හැබැයි රජයට ගෙවන්න ඕනි බද්ධත් හොරකම් කරනවා.ඉහල සිට පහල දක්වා හැම කෙනකුගෙම තියන මානසිකත්වය ඒක.නිකං හිතන්නකෝ අපි බෙහෙත් ගන්න විශේෂඥ වෛද්‍යවරයෙක් ගන්න ආදායම එයා හංගන්නේ නැද්ද කියලා.නිදහස් අධ්‍යාපනයෙන් එතනට ගිහින්.ඒ ගන්න ආදායමෙන් රාජ්‍ය භාගය නොගෙවීම හරිද?

ඇත්තට බදු ෆයිල් එක ආරම්භ කිරීමෙන් වෙන්නේ රාජ්‍ය සහ ජනතාව අතර සිද්ධ වෙන මූල්‍ය ක්‍රියාවලිය විදිමත් වෙන එකයි.ඒක ක්‍රමවත් රාජ්‍යයක් තුල තියෙන්න ඕනි දෙයක්.ඉතින් ඒවා ක්‍රමවත් වෙනවට ඊර්ෂ්‍යා කරන විපක්ෂයක් ඉන්න රටක් මේක.විපක්ෂය මේ ප්‍රතිසංස්කරණවල තියන සාධනීය පැත්ත කියන්නේ නෑ.මේකෙන් TIN එක ගැන නොදන්න ගමේ මාටින් අයියට මොකුත් හානියක් වෙන්නේ නෑ.

හැබැයි පාදඩ බිස්නස්කාරයින්,හොරකම් කරන දේශපාලනඥයින්,රාජ්‍ය නිළධාරීන්,අයුතු ලාබ ගන්න බිස්නස්කාරයින් සෑහෙන දුරට හිරවෙනවා. එතකොට මේ ක්‍රියාවලියට විරුද්ධ වීමෙන් විපක්ෂයේ ඉන්න ටිංටංලා පෙනී ඉන්නේ ගමේ මාටින් අයියලා වෙනුවෙන්ද නැත්තං හොර බිස්නස් මාෆියාව වෙනුවෙන්ද කියන එක මාටින් අයියලත් තේරුම් ගන්න ඕනි.රටක් හැටියට ඉදිරියට යෑමේදී බදු ෆයිල් ඕපන් කිරීම දියුණු රටවල තියෙන එක ක්‍රමයක් විතරයි.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions