Home » ටයිටැනික් සුන්බුන් බලන්න ගිය සබ්මැරීනයක් අතුරුදහන්

ටයිටැනික් සුන්බුන් බලන්න ගිය සබ්මැරීනයක් අතුරුදහන්

by Nirodha Gamage

සියවසකට පෙර අත්ලාන්තික් සයුරේ ගිලී ගිය සුප්‍රකට ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමේ පැය අටක චාරිකාවක් සඳහා පුද්ගලයන් පස්දෙනකු සමඟ උතුරු අත්ලාන්තික් සයුරේ අඩි 13,000ක් ගැඹුරට දියත් කළ සබ්මර්සිබල් වර්ගයේ සබ්මැරීනයක් අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලොරියක පමණ ප්‍රමාණයකින් යුතු ‘ටයිටන්‘ නමැති මේ සබ්මැරීනය මුහුදට දියත් කිරීමෙන් පැය දෙකක් ගතවීමටත් පෙර සහායක නෞකාව සමඟ තිබූ සම්බන්ධතාව බිඳ වැටී ඇති අතර, එය සොයා ගැනීම සඳහා අමෙරිකාව සහ කැනඩාව ඒකාබද්ධව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ. සබ්මැරීනය තුළ සිටින පිරිසට ඔක්සිජින් ඇත්තේ තවත් දින 3ක කාලයකට බැවින් විසිහතර පැය පුරා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක වන බව ද වාර්තා වේ.

අමෙරිකාවේ වොෂින්ටන් නුවර කේන්ද්‍ර කරගත් ඕෂන්ගේට් ගවේෂණ සමාගම මඟින් ක්‍රියාත්මක වන ටයිටැනික් නටබුන් නැරැඹීමේ චාරිකාවට දියත් කළ සබ්මැරිනය ද එම සමාගම සතු වන අතර, ඩොලර් දෙලක්ෂ පනස්දහසක මුදලකට ප්‍රවේශපත් ලබාගත් මගීන් තිදෙනකු සමඟ ඕෂන්ගේට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි හා මුහුදු ගවේෂණ සම්බන්ධ ප්‍රවීණයකු චාරිකාවට එක් වී සිටින බව වාර්තා වේ. බ්‍රිතාන්‍ය ජාතික කෝටිපති ව්‍යාපාරිකයකු සහ පාකිස්තානයේ ඉහළ තලයේ ව්‍යාපාරිකයකු සහ ඔහුගේ 19 හැවිරිදි පුත්‍රයා ඒ අතර සිටින බව විදෙස් මාධ්‍ය තහවුරු කළේය. සබ්මර්සිබලයේ සිටින සියලු පුද්ගලයන් නිරුපද්‍රිතව බේරා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම ප්‍රකාශ කර තිබේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions