Home » කුරුන්දි විහාරය පවරා දීමට තීරණයක් ගෙන ණෑ

කුරුන්දි විහාරය පවරා දීමට තීරණයක් ගෙන ණෑ

by Nirodha Gamage

කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පුරාවිද්‍යා චක්‍රවර්ති ආචාර්ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේට ලිපියක් යවමින් සඳහන් කරයි.

පසුගිය ජූනි 8 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පදනම් කරගනිමින් පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය එල්ලාවල මේධානන්ද හිමියන් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් කරුණු දැක්වීමක් සිදු කර තිබිණි. ඒ ලිපිය මඟින් කුරුන්දි විහාරයට අයත් නොවන ඉඩම් මහජනතාවට පවරා දීම සඳහා නියම කර ඇති බව මාධ්‍ය මඟින් දැනගත් බවත්, එම විහාරය අවට බොහෝ තැන්වල විවිධ බෞද්ධ ආරාමවල නටබුන් විසිරී ඇති බවත්, එබැවින් මේ ඉඩම් බෙදාදීම නුසුදුසු බවත් ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි විසින් දන්වා තිබිණි. දැනට රජයෙන් ඉඩම් බෙදා දුන්නද නුදුන්නද වැරදි ලෙස බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගෙන ඇති බව දක්නට ඇති බවත්, එබැවින් මේ ඉඩම්වල අයිතිය පැවරීම නොකළ යුතු බවත් උන් වහන්සේ අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් කරුණු සඳහන් කර තිබිණි.

මේ ලිපිය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ වෙත කරුණු පැහැදිලි කරමින් 2023 ජූනි 15 දාතමින් යුතුව යොමු කර ඇති ලිපිය මඟින් කුරුන්දි විහාරය, ශ්‍රී ලාංකික අපගේ වැදගත් පුරාවිද්‍යා ස්ථානයක් බවත්, එයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට කිසිදු තීරණයක් ගෙන නැති බවත්, උතුරු නැඟෙනහිර පවතින ඉඩම් ගැටලුවලට විසඳුමක් වශයෙන් යෝජනා කර ඇත්තේ 1985 වර්ෂය වන විට වනාන්තර හා වනජීවී කලාප වශයෙන් පැවැති ඉඩම් ඒ ආකාරයෙන්ම ආරක්ෂා කිරීම බවත් ජනාධිපති ලේකම්වරයා විසින් කරුණු පැහැදිලි කර ඇත.

එසේම 2023.06.08 දින පැවැති රැස්වීමේදී කුරුන්දි විහාරය මෙන්ම තිරියාය ප්‍රදේශයේ නටබුන් පිළිබඳවද සාකච්ඡා කළ බවත්, මාධ්‍ය මඟින් විකාශනය කිරීමේදී මේ කරුණු පටලවාගෙන ඇති බවත්, කුරුන්දි විහාරය අවට කුඹුරු ඉඩම් කිහිපයක් සම්බන්ධයෙන් මතු වී ඇති ප්‍රශ්නය පිළිබඳ සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරයාට හා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇති බවත් ජනාධිපති ලේකම්වරයාගේ ලිපිය මඟින් කරුණු දක්වා ඇත. එසේම රජයේ බලාපොරාත්තුව වන්නේ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන මෙන්ම ඉඩම් ද හඳුනා ගෙන ඒවා දිස්ත්‍රික් ලේකම්වරයා භාරයේ තැබීමට කටයුතු කිරීම බවත් වැඩිදුරටත් දන්වා ඇත. මීට අමතරව නේපාලයේ ලුම්බිණි මායා දේවී විහාරයේ කැණීම් කටයුතු සිදු කළ මහාචාර්ය රොබින් කනින්හැම් මහතාගේ සහාය ගෙන මහාවිහාරය අවට කැණීම් සිදු කර මහාවිහාර විශ්වවිද්‍යාලය නැවත ආරම්භ කිරීමට ප්‍රමුඛතාවක් දී කටයුතු කිරීමට ද රජය අපේක්ෂා කරන බව ජනාධිපති ලේකම්වරයා විසින් එම ලිපිය මඟින් පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ වෙත කරුණු පැහැදිලි කර ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions