Home » ඉන්දියන් සාගරයේ චීන බලපෑමට දෙමුහුන් මැදිහත්වීමක් – වරුණ අබේසේකර

ඉන්දියන් සාගරයේ චීන බලපෑමට දෙමුහුන් මැදිහත්වීමක් – වරුණ අබේසේකර

by Plus One

 

ඉන්දියානු සාගර කලාපයේ බල අරගලය යළි උත්සන්න වී තිබේ.මේ නිසා කලාපීය සහ ජාත්‍යන්තර දේශපාලන ආතතියක් වර්ධනය වන ලකුණු දැකගත හැකිය. මේ සඳහා ආසන්න වශයෙන් බලපෑ සිදුවීම වූයේ​ දෙසැම්බර් 7 වැනිදා මොරිෂස්හි පෝට් ලුවීහි පැවැති කොළඹ ආරක්ෂක සමුළුවයි. (CSC) මෙම සමුළුවේ ආරම්භක සාමාජිකයන් වූයේ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයිනයි. එහෙත් මාලදිවයින නියෝජනය කරමින් මොරිෂස් සමුළුවට එරට නියෝජිතයන් පැමිණ තිබුණේ නැත.​ මෙය බෙහෙවින් ජාත්‍යන්තර කතාබහට ලක්වූ මාතෘකාවක් විය.
මාලදිවයින සහ ශ්‍රී ලංකාව තුළ තම බලපෑම් සහගත බව වර්ධනය කරගැනීම සඳහා චීනය සහ ඉන්දියාව අතර ඉතාම ආතති සහගත තරගයක් තිබෙන බව නොරහසකි. 2023 නොවැම්බර් 17 වැනිදා තෙක් මාලදිවයිනේ ජනාධිපති ධුරය දැරුවේ දැඩි ඉන්දියානු හිතවාදියකු වූ ඊබ්‍රහිම් මොහොමඩ් සෝලිය. එහෙත් එංගලන්තයේ ලීඩ් සරසවියේ ආචාර්ය උපාධිධරයකු වන නව ජනාධිපති මොහොමඩ් මුවිසු දැඩි චීන හිතවාදියෙකි. ඔහු 54.5% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන මාලදිවයින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ අතර ඉකුත් නොවැම්බර් 17 වැනිදා තම ධුරයේ වැඩ භාර ගත්තේය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහද සහභාගි විය.
හිටපු ජනාධිපති සෝලිගේ ප්‍රතිපත්තිය වූයේ පළමුව ඉන්දියාව යන්නය. ඔහු ඉන්දියානුවාදී වෙළෙඳ ප්‍රතිපත්තයක් අනුගමනය කළේය. නව ජනාධිපති මුවිසු පළමු කතාවේදීම ඉන්දියානු දෙබරයට ගල් ගැසුවේය. ඔහු සඳහන් කළේ මාලදිවයිනේ රඳවා සිටින ඉන්දියානු හමුදා කණ්ඩායම වහාම රටින් පිට කිරීමට පියවර ගන්නා බවය. අලුත් ගමනක් යන චීනය සමග සබඳතා තරකර ගන්නා බවද ඔහු අවධාරණය කළේය. මේ අනුව මාලදිවයින් නව ජනාධිපතිවරයා නියෝජනය කරමින් කොළඹ ආරක්ෂක සමුළුවට මාලදිවයින් නියෝජිතයන් සහභාගි නොවීම පුදුමයක් නොවන බව පැහැදිලි වනු ඇත. මේ සඳහා බලපා තිබෙන පසුබිම් කතාව කෙරෙහි අවධානය යොමු​ නොකොට මෙය තේරුම් ගත නොහැකිය. එය තේරුම් ගැනීමට නම් කොළඹ ආරක්ෂක සමුළුවේ සම්භවය සහ එයට බලපෑ සාධක තේරුම් ගත යුතුය. කොළඹ ආරක්ෂක සමුළුව පිළිබඳ අදහසට මුල්වූයේ 2011 වර්ෂයේදී පමණ ඉන්දියාවේ අදහසක් අනුව ඇතිවූ ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව පිළිබඳ ත්‍රෛපාර්ශ්වීය එකඟතාවයි. එවැනි එකඟතාවක් සඳහා බලපෑවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දැඩි චීන හිතවාදී ප්‍රතිපත්තිය හේතුවෙනි. ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාව තුළ වර්ධනය වූ නොසන්සුන්තාවයි.
විශේෂයෙන් රාජපක්ෂ ආණ්ඩුවේ අවසාන කාලය වනවිට චීන සබ්මැරීන ඉන්දියානු සාගර කලාපයට පිවිසීමත්, ඉන්දියානු සාගරය තුළ චීන නාවික අභ්‍යාසත් මෙම නොසන්සුන්තාව වර්ධනය කිරීමට බෙහෙවින් බලපෑවේය. මුලින් සඳහන් කළ ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ත්‍රෛපාර්ශ්වීය එකඟතාවට එතරම් යහපත් ප්‍රතිචාර මුලදී ලැබුණේ නැත. 2014 වර්ෂයේදී යළි එහි යම් වර්ධනයක් දැකගත හැකි වුවද ඉන්පසුව මෙම මාතෘකාව යටගියේ ඉන්දියානු සාගර කලාපයේ ආධිපත්‍යය සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය අතර සීතල යුද්ධය උග්‍රවීමෙනි. විශේෂයෙන් මාලදිවයින මුල සිට ඒ සම්බන්ධයෙන් දැක්වූයේ හොඳ ප්‍රතිචාරයක් නොවේ. ඊට හේතුව මාලදිවයිනට චීනය රාජ්‍යතාන්ත්‍රිකව සහ ආර්ථික වශයෙන් එල්ල කළ දැඩි බලපෑමයි. මෙම ත්‍රෛපාර්ශ්වීය එකඟතාව ඇතිකර ගැනීම ඉන්දියාවේ දැඩි අවශ්‍යතාවක් විය. ඒ සඳහා මූලිකත්වය ගත්තේ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයාය. අනෙකුත් රටවල් දෙකේද ආරක්ෂක උපදේශකයෝ හෝ ලේකම්වරු ඊට සහභාගි වූහ.
කෙසේ වුවද 2020 වර්ෂයේදී මෙම ත්‍රෛපාර්ශ්වීය එළඹුම කොළඹ ආරක්ෂක සමුළුව හැටියට පරිවර්තනය විය. ඉහත සඳහන් කළ ආකාරයට මොරිෂස්හි පෝට් ලුවීහි පැවැතියේ එම සමුළුවේ ජාතික ආරක්ෂක උපදේශකයන්ගේ රැස්වීමය. එහි මූලිකත්වය ගනු ලැබුවේ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්ය. මෙම රැස්වීමට මාලදිවයින් නියෝජිතයා නොපැමිණියද එරට උප ජනාධිපති හුසේන් මොහොමඩ් ලතීෆ් එදින චීනයේ යුනාන් පළාතේ කුන්මිංහි පැවැත්වූ චීන-ඉන්දියානු සාගර කලාපීය සංසදයට සහභාගි විය. ඔහු එම සමුළුවේදී ප්‍රකාශ කළේ අන්‍යොන්‍ය ගෞරවය සහ හවුල් ඉලක්ක මත ගොඩනගා ඇති චීනය සහ මාලදිවයින අතර දිගුකාලීන සබඳතා ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවය. එසේම මාලදිවයින සහ චීනය යන රටවල් දෙකම සමාජ සංවර්ධනය සහ සාමය සඳහා ජනකේන්ද්‍රීය උපාය මාර්ගයකට යොමුවී තිබෙන බවද ඔහු සඳහන් කළේය. සැබැවින්ම මෙය ඉන්දියාවට එල්ල කළ එක්තරා ආකාරයක අකුණු පහරක් සේ සැලකිය හැකිය. මොරිෂස් රැස්වීම නොතකා මාලදිවයිනේ උප ජනාධිපතිවරයා චීනයේ පැවැති සමුළුවකට සහභාගි වීමෙන්ම එය පැහැදිලි වේ. මාලදිවයින එසේ මොරිෂස් රැස්වීම වර්ජනය කළේ චීනයේ බලපෑම අනුව බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශ්ලේෂකයෝ සඳහන් කරති.
මෙම කොළඹ ආරක්ෂක සමුළුවේ එකම අරමුණ ඉන්දීය සාගර කලාපය තුළ චීන බලපෑම අවම කිරීමය. මෙම සමුළුවේ නිරීක්ෂණ මට්ටමේ සාමාජිකයන් හැටියට බංග්ලාදේශය, මොරිෂස් සහ සීසෙල්ස් යන රාජ්‍යයන්ද කටයුතු කරයි. එහෙත් බංග්ලාදේශයද එතරම් මේ පිළිබඳ උනන්දුවක් දක්වන්නේ නැත. ඩකා සරසවියේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ මහාචාර්ය ලයිලුෆර්, යෂ්මින් සඳහන් කරන්නේ බංග්ලාදේශ රජයට යම්කිසි රටකට එරෙහිව ඉලක්ක කරගත් සන්ධානයකට සම්බන්ධවීමේ හෝ ගිවිසුම් ගතවීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවය. මේ අනුව පෙනෙන්නේ කොළඹ ආරක්ෂක සමුළුව චීනය ඉලක්ක කරගත් හවුලක් සේ මෙකී රටවල් කල්පනා කරන බවය.
එහෙත් සමුළුවේ බලධාරීන් නම් සඳහන් කරන්නේ සමුද්‍රීය ආරක්ෂාව සහ රැකවරණය, ත්‍රස්තවාදයට සහ මූලධර්මවාදයට එරෙහිව කටයුතු කිරීම. මිනිස් වෙළෙඳාම සහ ඒ හා සම්බන්ධ අපරාධ වැළැක්වීම, සයිබර් අපරාධවලට එරෙහිව පියවර ගැනීම, මානුෂීය ආධාර සහ හදිසි ආපදා අවස්ථාවලදී සහයෝගය දැක්වීම යන කුලුනු පහ මත කොළඹ ආරක්ෂක සමුළුව රඳා පවතින බවය. 2021 කොළඹ ආරක්ෂක සමුළුව මූලික වශයෙන් අවධානය යොමු කළේ ත්‍රස්තවාදී කණ්ඩයම් සහ එම සංවිධානවල මූල්‍ය පදනම කලාපීය මත්ද්‍රව්‍ය වෙළෙඳ පොළ සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සයිබර් අපරාධ, සමුද්‍ර දූෂණය, සමුද්‍ර නීතිය සහ වෙරළ ආරක්ෂාව යන මූලික සංකල්ප කෙරෙහිය. 2022 වර්ෂයේදී සමුද්‍ර හා ජල විද්‍යාඥයන්ගේ රැස්වීමක් පැවැත්වීමට​ මෙම සමුළුව මගින් මූලිකත්වය ගනු ලැබිය. එම සමුළුවේදීද වෙරළ ආරක්ෂාව පිළිබඳ ඉතා පුළුල් කතාබහක් ඇතිවිය. මෙවර සමුළුවේදී ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් මාර්ග සිතියමක් සකස් කරගැනීම කෙරෙහි අවධානය යොමුකර තිබේ. මෙවැනි සමුළුවක් මතුවීමට බලපා තිබෙන තවත් සාධකයක් සේ අපට පෙනෙන්නේ සාක් සමුළුවට කළහැකි බලපෑම බෙහෙවින් අවම මට්ටමක පැවැතීමය. මෙනිසා ඉන්දියාවේ උපාය මාර්ගය වී තිබෙන්නේ කොළඹ ආරක්ෂක සමුළුව ශක්තිමත් කර පෙරට ගැනීමය.
දකුණු ආසියානු කලාපයේ ප්‍රශ්නවලදී චීනයට​ පෙර තමන් මැදිහත් විය යුතු බව ඉන්දියාව දැඩිව කල්පනා කරයි. ඒ සඳහා පසුබිම සකස් කරගැනීම මෙම සමුළුවේ මූලික අරමුණකි. ඉන්දියාව සඳහන් කරන ආකාරයට ඉන්දියානු සාගර කලාපය තුළ සාම්ප්‍රදායික නොවන මැදිහත්වීම් කලාපයේ ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට තර්ජනයකි. මෙවැනි මැදිහත්වීම් හැඳින්වීම සඳහා ඉන්දියාව භාවිත කර තිබෙන්නේ දෙමුහුන් මැදිහත්වීම් යන තරමක උපහාසාත්මක යෙදුමය. එමගින් අතුල් පහරක් එල්ල කර තිබෙන්නේ චීනයට බව නොරහසකි. ජිබුටිහි හමුදා කඳවුර, පාකිස්තානයේ ග්වාදාර් වරාය, ලංකාවේ හම්බන්තොට වරාය, කොළඹ වරාය නගරය ආදිය දෙස බලන ඉන්දියාව කල්පනා කරන්නේ ඉන්දියානු සාගර කලාපය තුළ චීන මැදිහත්වීම ඕනෑවටත් වැඩි බවය. එය පාලනය කිරීම සඳහා ලංකාව ඇතුළු රටවල් සම්බන්ධ කරගෙන කොළඹ ආරක්ෂක සමුළුව ආරම්භ කළද එයට තම සැලකිය යුතු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව කිව යුතුය. 1982 දී පමණ ඉන්දියාවේ මූලිකත්වයෙන් මොරිෂස්හි පෝට් ලුවීහි පැවැති ජාත්‍යන්තර සමුළුවකින් පසු ඉන්දියානු සාගර කොමිසම සඳහා පසුබිම සකස් විය. එම කොමිසම 1984 වනවිට ක්‍රියාකාරී වන්නට විය. එහි අරමුණු වූයේ ඉන්දීය සාගර කලාපයට අයත් ආසියානු සහ අප්‍රිකානු රටවල් අතර සහයෝගය ගොඩනැගීමය. එහෙත් එහිද සැලකිය යුතු ප්‍රගතියක් නොමැති බව පෙනේ. කොළඹ ආරක්ෂක සමුළුව මගින් ඉස්මතු වන්නේ ඉන්දියාවේ උප කලාපීය මැදිහත්වීම සහ මූලෝපායික අවශ්‍යතාවයයි.
කෙසේ වුවද මාලදිවයින වැනි රටවල් ප්‍රකාශ කරන්නේ මෙවැනි සමුළුවක් සඳහා ආසියානු කලාපයේ සෙසු රටවල්වල චීනය වැනි රාජ්‍යයන්ද සහභාගි කරවා ගත යුතු බවය. එහෙත් ඉන්දියාව ඊට ප්‍රතිචාර දක්වා නොමැත. ඉන්දියාවේ ප්‍රධාන අවශ්‍යතාව චීනයට වෙට්ටු දැමීමය. මාලදිවයින වැනි රටවල් එම වෙට්ටු දැමිල්ලේදී සාර්ථකව යොදාගැනීමට නොහැකි වුවද, ලංකාව ඒ සම්බන්ධයෙන් සාර්ථකව යොදා ගැනීමට ඉන්දියාව සමත් වී​ තිබේ. කොළඹ ආරක්ෂක සමුළුවේ ලේකම් කාර්යාලයක් කොළඹ පිහිටුවා තිබෙන අතර, එක්තරා ආකාරයකින් එමගින් පෙනෙන්නේ ඉන්දියාව සහ චීනය අතර උද්ගතවී තිබෙන ඉන්දියානු සාගර කලාපීය ආතතිය පදනම් කරගත් ගැටුමෙහි කඳවුරකි. රටවල් අතර ප්‍රශ්න බේරාගැනීම සඳහා ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සේවාවක් තිබියදී මෙවැනි ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමෙන් පෙනෙන්නේ ගැටුමේ තරමය. ඉහත සඳහන් කළ පරිදි මාලදිවයින මොරිෂස් රැස්වීමට සහභාගිවීම ප්‍රතික්ෂේප කළද, හිටපු ඉන්දියානු වෙරළාරක්ෂක අතිරේක අධ්‍යක්ෂ​ ජෙනරාල් වි​ජෙයි ඩී. චපේකාර් සඳහන් කරන්නේ මාලදිවයිනට භූගෝලීය යථාර්ථය අහෝසි කළ නොහැකි බවත්, සමුද්‍රීය ආරක්ෂාව සඳහා අන්‍යොන්‍ය ආධාර ගිවිසුමෙහි වටිනාකම නොසලකා හැරිය නොහැකි බවත්ය.
විශේෂයෙන් සමුද්‍රීය ව්‍යසනයකදී ඉන්දියාවෙන් ඈත්වීමක් පෙන්වීමට පියවර ගත නොහැකි බවය. කොහොම නමුදු​ මෙම සමුළුව වර්ජනය කිරීම පිටුපස මාලදිවයිනේ ඉස්ලාම් ආගමිකවාදී කණ්ඩායම්වල බලපෑම් තිබෙන බවද සඳහන් වේ. මෙම සමුළුවේදී ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සාමාජික රටවලින් ඉල්ලා සිටියේ ඉන්දියානු සාගර කලාපයේ සාම්ප්‍රදායික නොවන නැගීගෙන එන දෙමුහුන් අභියෝගවලට මුහුණදීම සඳහාත්, ඒවාට විසඳුම් ඉදිරිපත් කිරීමටත් සාමූහික ප්‍රයත්නයක් අවශ්‍ය බවය. මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වී තිබුණේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උප​දේශක සාගල රත්නායකය.
කෙසේ වෙතත් මෙම මොරිෂස් රැස්වීම අවසන් වූයේ ඉන්දියානු සාගර කලාපය තුළ ආතතිය තවත් වැඩි කරමිනි. චීනයට වෙට්ටු දැමීමේ ඉන්දියානු වුවමනාව නියෝජනය කරන බව එහි විවේචකයන් සඳහන් කරන කොළඹ ආරක්ෂක සමුළුව ඉන්දු සාගර බලදේශපාලනික ගැටුමේ, එනම් භූ දේශපාලනික අර්බුදයේ තීරණාත්මක අවස්ථාවක් හෙළි කරයි.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions