Home » රනිල්ට එරෙහි වූවාට හිටපු ජනපති මහින්දට හා මෛත්‍රීට සිතාසි

රනිල්ට එරෙහි වූවාට හිටපු ජනපති මහින්දට හා මෛත්‍රීට සිතාසි

by Plus One

2018 වසරේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් යහපාලන රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව ගොනුකෙරුණු මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29) අවසර ලබා දී තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවමින් නොතීසි නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපතිධුරය දරමින් සිටි පුද්ගලයෙකු එම ධුර කාලය තුළදී සිදු කරන ලද අනීතික ක්‍රියා සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කළ නොහැකිව තිබූ ජනාධිපති මුක්තිය මුලුමනින්ම මෙමගින් අහෝසි වී එම පුද්ගලයන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට කැඳවීමේ අවස්ථාව උදාවී තිබේ.

මෙම පෙත්සම සම්බන්ධයෙන් මූලික වශයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව එස්. තුරෙයි රාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඉන් අනතුරුව පෙත්සම සැප්තැම්බර් මස 23 වනදා විභාගයට ගැනීමට ද අධිකරණය තීන්දු කළ අතර පෙත්සම සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරු පවසන්නේ 2018 වසරේ ඔක්තෝබර් මස 26 වනදා එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එවක අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත්කළ බවය.

ඉන් අනතුරුව එම තනතුර සඳහා මහින්ද රාජපක්ෂ පත් කෙරුණු බවත් පෙත්සම මඟින් පෙන්වා දී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ පාර්ලිමේන්තුවේ බහුතර බලය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සතුව තිබියදී ඔහු ඉවත්කොට එම තනතුර සඳහා මහින්ද රාජපක්ෂ පත් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙත්සම්කරු පවසයි.

ජනාධිපතිවරයාට සිය අභිමතය පරිදි අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට නීතිමය හැකියාවක් නොමැති බවත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරීම හරහා එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවටත් තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබිණි.

 

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions