Home » දේශපාලන ප්‍රතිවාදියාගේ මරණයට සිනාසීම – එරන්ද ගිනිගේ

දේශපාලන ප්‍රතිවාදියාගේ මරණයට සිනාසීම – එරන්ද ගිනිගේ

by Plus One

හෙට දිනයේ මා මළොත් රට්ටු මොනවා කියාවිද? මා හිතන්නේ සියලු ජේවීපීකාරයන් මාගේ මරණය පිළිබඳව ඉතා සතුටට පත්වනු ඇති බවයි. සාහසික අරගලකරුවන් මාගේ මරණයට නින්දා අපහාස කරමින් උද්දාමයට පත් වනු නිසැකය. එයට හේතුව කුමක්ද? මා හොරෙක්ද? මා මංකොල්ලකාරයෙක්ද? මා බොරු කියන වංචාකාරයෙක්ද? මා වැරදි ආකාරයට මුදල් හම්බ කළ අයෙක්ද? නැත. මා මුදල් හම්බ කර ඇත්තේ මා විසින්ම සොයාගත් රැකියා සහ මා විසින්ම ආරම්භ කළ ව්‍යාපාරවලිනි. ඒ සඳහා මා යොදා ගත්තේ මාගේ මහන්සියෙන් උගත් දැනුම සහ කැපවීමෙන් මා ලද අත්දැකීම්ය. රටේ ජනතාවට මා විසින් නව ජාතික සංකල්ප හඳුන්වා දී ඇත. දහසකුත් එකක් මෙරට පිටරට මිනිසුන්ට මා උගන්වා දැනුම දී ඇත. එහෙනම් ඇයි කවුරුවත් මාගේ මරණයේදී සතුටු වන්නේ?

එයට හේතුව මා ඔවුන්ගේ දේශපාලන ප්‍රතිවාදියා වීමයි. එපමණයි. එරන්ද ගිනිගේ යනු ජවිපෙහි ප්‍රධාන ඉලක්කයකි. එයට හේතුව මා විසින් ඔවුන්ගේ මුසාවාද තර්කයෙන් සුනුවිසුණු කිරීමයි. අරගලකරුවන්ට මා සමග තර්ක කළ නොහැකිය. මන්ද ඔවුන්ගේ බොරුව මා විසින් බිඳ දමන බව ඔවුන් දන්නා නිසාය. ඔවුන්ට කළ හැක්කේ කුණුහරුපයෙන් බැන වැදීම පමණී. මා අදහස් ලියන සමාජ මාධ්‍යයෙන් මාව block කර දැමීම පමණී. අවසාන වශයෙන් කළ හැක්කේ මා ඝාතනය කිරීම පමණී. මාගේ මරණයේදී ඔවුන් සතුටු වන්නේ ජීවත්ව සිටින මා ඔවුන්ට අභියෝගයක් වන බැවිනි. මෙය මා වැනි කාටත් පොදු ධර්මතාවයකි.

එබැවින් “තමන් මැරුණු දවසට කාගෙන්වත් බැනුම් නාහන ආකාරයට ජීවත් විය යුතුය” යැයි කීම මෝඩ ප්‍රකාශයකි. එහෙම ඉන්නේ නිවටයන්ය. බියසුල්ලන්ය. සටකපටින්ය. ඔබ මොනවා කළත් මිනිසුන් ඔබට බනිනු ඇත. ඔවුන්ගේ ජීවිත මත ඔබේ බලපෑම වැඩිවන තරමට ඔවුන් ඔබට බනිනු ඇත. ඔබ සාර්ථක වෙන තරමට ඔබට සතුරන් වැඩි වේ. ඒ සාර්ථකත්වය ඔබ හොඳින් ගත්තත් නරකින් ගත්තත් වෙනසක් නැත. බනින එකා අනිවාර්යෙන්ම බනිනවාමය. බුදුන්වහන්සේ පිරිනිවන් පෑ විටත් අන්‍ය තීර්ථකයන් පමණක් නොව ඇතැම් පැවිදි භික්ෂූන් පවා සතුටු වී තිබේ. ජේසුස් කුරුසයේ මිය ගිය විටත් යුදෙව්වන් බොහෝ සෙයින් සතුටු වී තිබේ. එබැවින් ඔබේ මරණයට මිනිසුන් ප්‍රතිචාර දක්වන ආකාරය ගැන හිත හිතා ජීවත් වීම මෝඩකමකි.

ඔබ ජීවත් විය යුත්තේ ඔබේ හදවතට එකඟවය. ලෝකයා කියන ආකාරයට ජීවත් වෙනවාය කියා කරන්නේ බොරු රඟපෑමකි. ඔබ මේ ලෝකයට ජනිත වන්නේ සුවිශේෂී පුද්ගලයෙකු ලෙසිනි. ඔබටම පමණක් අනන්‍ය වූ චරිතයක් ඔබට පිහිටා තිබේ. ඔබ එම චරිතයට අවංක විය යුතුය. ඔබේ හදවතට එකඟව ඔබ ජීවත් විය යුතුය. ලෝකයා කුමක් කියාවිද කියා හිතන්නට ගියහොත් ඔබට ඔබව මග හැරී යයි. අප ජීවත් වන්නේ කෙටි කාලයකි. ඒ කෙටි කාලය තුළ වෙනත් අයෙකුගේ ජීවිතය ජීවත් වෙනවාට වඩා ඔබ ඔබ අනුව ජීවත් වෙන්න. මැරුණට පස්සේ ලෝකයාට බනින්න බැරි නම් බම්බු ගහගන්න කියලා ඔබ ඔබේ හිතට එකඟව ජීවත් වෙන්න. ධර්මය ඔබට මග වේවා!

එරන්ද ගිනිගේ
eranda.ginige@gmail.com
2024 ජනවාරි 26

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions